සිහිනයකි සිනහව
උදාවන හිරු කුමරු දහසක් පැතුම් දැල්වුවද
දිවිය තුල මුල්වරට හදෙහි දොරගුලු විවර විය
කදුලු බිඳු නෙත් අඟින් ගලන විට සිත්තමට
පිස දැමුවෙ මා හනික පුංචි සිත නොරිදෙන්න
පුංචි සුරඟන විලස මවගෙ උණුසුමෙහි හිඳ
පැමිණි විට අභියසට සඟවගෙන මුව කමල
කිසාගෝතමි සිහිව සියොළඟම හිරිවැටුණි
එදා ඇය ඉල්ලුවේ මරුණු පුතුගේ දිවිය
මෙදා ඇය ඉල්ලුවේ පුංචි කැකුළගෙ සිනහ
රිදුණු සිත සඟවගෙන සිනහසුණු නමුදු මම
නොදැක්කෙමි සුරතල් සිනා මුව වසා තිබූ හෙයින්
දසන් පෙන්වා ඇයට සුරතල් සිනා නඟන්නට
අහිමි කළ දෛවය ගැන මැදියම් රැයෙහි සිතමි මම
හෙට උදාවන විටදි සිනහවක් රැඳේවා
ඒ සිඟිති මුවඟ කොන හදවතින් පතමි මම….
-මිණි-
එම්.ජී.මෙත්මා පියුමිණී
පරිගණක ඉංජිනේරුපීඨය
පළමු වසර
Post a Comment