Header Ads

ටුටූ


පවනියි සසින්දියි library එක පැත්තට ගියේ project එකේ වැඩ කරන්න. ඉරිදා දවසක් හින්දා library එක වෙනදට වඩා පාළුයි. ළමයි ටික දෙනයි හිටියෙත්. සසින්දියි ඈත තිබුන මේසයක් ලගට ගියේ එතන නිදහස් තැනක් හින්දා. දෙන්නත් එක්ක එතන වාඩි වෙලා laptop දිගෑරගෙන වැඩ පටන් ගත්තා.

“පවනි මේක වෙනස් කරන්නේ කොහොමද?”
“ඕක නම් මාත් හරියටම දන්නෙ නෑ.. නෙට් එකේ search කරලා බලනවද?”

සසින්දි අහපු දේට පවනි උත්තර දීලා ආයි වැඩ පටන් ගත්තා. එයාල හිටපු තැනට එහා පැත්තේ මේසේ එයාලගේ පැත්තට මුණ දාලා පිරිමි ළමෙක් වැඩ කරනවා. එක දිගට වැඩ කරන්නත් බැරි හින්දා සසින්දි සින්දුවක් අහගෙන වට පිට බල බල හිටියේ. අර පිරිමි ළමයා සැරින් සැරේ තනියම හිනා වෙනවා. සසින්දි පවනිටත් ඒක පෙන්නුවා.

“හේ හේ පිස්සුද කොහෙද ...”
“ලස්සන කොල්ලා අප්පා”
“අපෝ සසින්දි...”
“ඇයි ඇයි...”
“මොනාද අප්පා... පාඩුවේ ඉන්න ලමෙක්ට වත් ඉන්න දෙන්නේ නෑනේ...”
“ඉතින් මං මොකුත් කීවයෑ...”
“හැබැයි ඉතින් ලස්සනයි නම් තමා...”
“පව් වැඩේ අප්පා... හූ හූ...”

සසින්දි වැඩ කරන ගමන් සැරින් සැරේට අර ළමය දිහා බැලුවා. ඒ ළමයගේ තියෙන්නේ අමුතු ලස්සනක්. ටිකක් නපුරු පාටකුත් තියෙනවා. චූටි රැවුලකුත් වවලා. සසින්දි ආස type එකේ එයත්. ඒ හින්දමයි එයා වැඩිපුරම ඒ ළමයා දිහා බැලුවෙත්. එක පාරක් ඒ ළමයත් සසින්දිලා දිහා බලාගෙන ඉන්නවා එයා ඒ පැත්ත බලනකොට. වැඩේ නම් චාටර් ඉතින්. ඊට පස්සේ නම් සසින්දි වැඩිය ඒ පැත්ත බැලුවෙ නෑ..

සසින්දිලා දවස් ගානක්ම library යනකොට අර ළමයත් එයාලා ඉන්න ළග පාතකම ඉන්නවා. සසින්දිත් ඉතින් පුරුදු විදියටම හොරෙන් බල බල ඉන්නවා. සසින්දිලගේ සෙට් එක ඒ ළමයට දාපු නම තමා “ටුටූ” හිටපු ගමන් canteen එකේදිත් එයාලට ටුටූ ව හම්බුනා. ටුටූ ව ඉස්සෙල්ලම දකින කෙනා ටක් ගාලා අනික් අයටත් එයාව පෙන්නනවා. සසින්දිට ඉතින් එයාව දැක්ක ගමන් අනේ කියාගෙන අත් දෙක මුනෙන් තියාගෙන ගල් ගැහිලා වගේ බලන් ඉන්නවනේ. ඒ හින්දා එයාට පෙන්නන්නේ අන්තිමට. ටුටූ ව දැක්කම කොහොමත් සසින්දිගේ පියවි සිහිය නැති වෙනවා. ඊට පස්සේ ඉතින් මෙලෝ සිහියක් නෑ..එයා ගැනමයි කතාව. සසින්දි ඉතින් ජොලියට කිව්වට ටුටූ ගැන හිතක් පහල වෙලා තිබුනෙ නැතුවම නෙවෙයි. ඒත් ඉතින් මක් කරන්නද? පස්සෙන් ගිහිල්ලා අහන්නයෑ ඔයා මට කැමතිද කියලා. අඩුම තරමේ ටුටූ මොන batch එකේද කියලා දන්නෙවත් නෑනේ...

එක දවසක් තමා නියමම වැඩක් උනේ. සෙට් එකේ අනිත් අය කෑමත් අරන් canteen එකට යනකොට සසින්දියි පවනියි  වාඩි වෙලා බලන් හිටියා අනිත් අය එනකම්. එතන අනිත් අයට ඉඩ තිබුනේ නෑ.. තව කට්ටියක් වාඩි වෙලා හිටපු හින්දා. ඒ පාර අනිත්අය වෙන මේසෙකට යනවා කියලා යන්න හැදුවා. සසින්දිත් එතකොට  නැගිටලා හිටියේ. එතකොටම වගේ ටුටූ එතනට ඇවිල්ලා සසින්දිගේ bag එක තියලා තිබුන පුටුව උඩින් වාඩි උනා. එයාගේ යාළුවා කතා කරලා කීවම මෙතන මෙයා හිටියේ කියලා එයා ඉක්මනට නැගිටලා,

“ආ සොරි... වාඩි වෙන්න වාඩි වෙන්න...”   
“නෑ කමක් නෑ වාඩි වෙන්න...”
“නෑ නෑ වාඩි වෙන්න ”
“නෑ කමක් නෑ. මං වෙන තැනකට යන්නම් ”එහෙම කියලා සසින්දි දඩි බිඩි ගාලා bag එකත් අරන් වෙන මේසෙකට දිව්වා.
“අනේ එයා මගෙ bag එක උඩ වාඩි උනා.” කන එකත් අමතක කරලා සසින්දි කියෝනවා.
“අපි ඕක බෝඩිමේ උඩකින් තියලා මල් තියලා දුම් අල්ලමු...”
“දැන් ඉතින් ඕක වැරදිලා වත් හෝදන එකක් නෑ.” කට්ටිය එක එක කතා කියනවා. සසින්දි වෙනම ලෝකෙක.
එදා ඉතින් දවසම සසින්දි හිනා වුන ගමන්මයි. අනිත් අයට ෂෝක් බයිට් එක.
ඒ මේ අස්සේ campus එකේ dancing society එකෙන් සල්සා session එකක් තියෙනවා කියලා සසින්දිලගේ batch එකේ ටුවිට් එකක් දාලා තිබුනා. කට්ටියම ඉතින් ඒකට යන්න කතා උනා. ඉස් ඉස්සෙල්ලම දවසේ කට්ටිය ඉතින් බයෙන් බයෙන් වගේ ඒකට ගියා. ටිකක් කට්ටිය ඉතින් ඇවිල්ලත් හිටියා. ඒ මේ අස්සේ ටුටූ ත් ඇවිල්ලා ඉන්නවා සසින්දී අහම්බෙන් වගේ දැක්කේ. එයාව දැක්කම නම් නිකම් මොකක්ද මොකක්ද වගේ උනා. එතන හිටපු ගෑණු ළමයි වයි පිරිමි ළමයිවයි දෙපැත්තකට කරලා පිරිමි ළමයින්ට කිවා තමන්ට partner කෙනෙක්ව තෝර ගන්න කියලා. පිරිමි ළමයි ඇවිත් ඉතින් ගෑණු ළමයින්ට කතා කරගෙන යනවා. සසින්දිගේ හිතට දැන් නම් ටිකක් බයයිත් වගේ. කවදා කරපුවද ඉතින්. සසින්දි හිතුවෙත් නැති වෙලාවක ටුටූ ඇවිත් එයාට කතා කළා. දියෙන් ගොඩ දාපු මාළුවා වගෙ ගැහි ගැහි සසින්දි ටුටූ පස්සෙන් ගියා. වීරයා වගේ ආවට මොකද දැන්නම් සසින්දිට හොදටම බයයි. කව්ද දෙයියනේ හිතුවෙ ටුටූ ඇවිත් කතා කරයි කියලා... සර් කියලා දුන්න විදියට අතින් අල්ලගෙන දැන් නටන්නයි ලැහැස්තිය... සසින්දිට හොදටම දාඩියත් දාලා. ටුටූ නම් ගානක් නැතුව අතින් අල්ලගෙන මුණ දිහාම බලගෙනත් ඉන්නවා. දෙයියනේ කොහොමද එහෙම කොල්ලෙක්ගේ මුණ දිහා බලන් ඉන්නේ. සසින්දි උඩ බලනවා. බිම බලනවා. වටේ පිටේ බලනවා. හැබැයි ටුටූ ගේ මුණ දිහා නම් බලන්නෑ...

“සර් කිවේ මුණ දිහා බලන්න කියලා...” ටුටූ හිනා වෙවී කියනවා..
“ආආ... මේ.... නෑ... මේ....” සසින්දි ගොත ගහනවා. කියන්න මොකුත් එන්නෙත් නෑ. අනේ දෙයියනේ මට පිහිට වෙන්න. එයා හිතෙන් කිය කියා හිටියා.
“මොන faculty එකේද?” ටුටූ ඇහුවා.
“TLM ඔයා?” සසින්දි යන්තම් වචන අමුණ ගත්තා.
“කෙමිකල්, ඔයා batch 12 ද?”
“ඕහ ඔව්”
“අහා මේ අපේ parallel නේ.”
“ඔව්ව්”
“library එකේදී නම් දැකලා තියෙනවා ඔයාව... යාළුවොත් එක්ක ඉන්නවා.”
“අහා ඔව්ව්”
ටුටූ ගානක් නැතුව නටනවා. සසින්දි නම් මෙලෝ සිහියක් නැතුව මොකෙක්ද එකෙක් වගේ නටනවා. එයාට තාමත් හිතා ගන්න බෑ උන දේ. හීනෙන් වගේ එයාටනම්. Session එක ඉවර වෙලා එලියට ආවම සසින්දිලගේ සෙට් එක එයාව වට කර ගත්තා.
“ආව් ආව්... මෙයා එහෙනම් ටුටූ එක්කත් නැටුවා.”
“අම්මෝ හිනාව... ආව්... ආව්...”
“දාමුද status එකක් feeling fantastic කියලා...”
“නෑ නෑ feeling loved with  ටුටූ කියලා දාමු...”
“එයාගේ නම හොයන් tag කරමු...”
“අන්න වැඩේ”
කට්ටිය එක එක අදහස් දෙනවා. සසින්දිට නිකන් පිස්සු වගේ.
“ඇති ඇති කට්ටියම, මට ආයි ඒ ළමයාගේ මුණ බලන්න බැරි වෙන්න වැඩක්  තමා ඔය කරන්න හදන්නේ.”
“අනේ ඒ ළමයද... මෙන්න ටුටූ මෙයාට ළමයත් වෙලා.”

අද දවසේ බයිට් එක සසින්දි වෙලා ඉවරයි. මොනා කරන්නද ඉතින්.
සසින්දි එදාම ගිහින් fb  එකේ ටුටූ ව හෙව්වා. ටුටූ ගේ ඇත්තම නම ගිහාන්. සසින්දිගේ වයසෙමයි. කෝකටත් කියලා fb request එකක් නම් දැම්මේ නෑ.. එයා මොනා හරි හිතුවොත් එහෙම.

ඊට පස්සේ ඉදන් ටුටූ සසින්දිව දකින හැම වෙලේම දත් 32 ම පෙන්නලා හිනා වෙනවා. සසින්දිත් හොදට හිනා වෙනවා. මේ වෙනකොට සසින්දිගේ හිතේ නම් ටුටූ ගැන අදහසක් ඇති වෙලා තිබුනේ. ඒත් එයා ඒක කාටවත් පෙන්නුවේ නෑ.. එකක් අනිත් අය දැන ගත්තම එයාලා විහිලු කරන එක තවත් වැඩි වෙන හින්දා. අනික ටුටූ එයා ගැන එහෙම හිතලා නොතිබුනොත් එයා නිකන් චාටර් වෙයි කියලා බයට.

දවසක් කට්ටියම library එකට ගියේ වැඩ කරන්න. එයාලා කට්ටියම රවුම් පුටුවක වාඩි වෙලා වෙලා වැඩ. එතන තව අයටත් ඉඩ තිබුනා. ටික වෙලාවකින් තව කට්ටියක් ඇවිත් එතනින් වාඩි උනා. සසින්දි ලොකු වැඩක හිටපු හින්දා එයා දැක්කේ නෑ කව්ද ආවේ කියලා. ටික වෙලාවකට පස්සේ එයා නිකමට වගේ ඔළුව උස්සලා බලනකොට දැක්ක දෙයින් මුළු හිතම එක තැනක නතර උනා වගේ උණා. ටුටූ ගෑණු ළමයි ටිකක් එක්ක එතන වැඩක්. එක ගෑණු ලමෙක්ගේ අත එයාගේ උරහිසේ... දෙපැත්තෙන්ම ගෑණු ළමයි...එයා එයාලා මැදට වෙලා ගානක් නැතුව වැඩ. තවත් ඒ දිහා බලන් ඉන්න තරම් සසින්දිගේ හිතේ හයියක් තිබුනේ නෑ. එයා ලැපත් වහලා bag එකට දාගෙන අනිත් අයට කියන්නෙත් නැතුවම එතනින් යන්න නැගිට්ටා.

“ආ ඔයාද මෙතන හිටියේ... වැඩ ඉවරද?” ටුටූ සසින්දිගෙන් ඇහුවා.
“ඔව්ව් මේ යන්න කියලා” සසින්දි යන්තම් වචන ගැට ගහ ගත්තා. එයාට බාගෙට ඇඩිලා වගේ. වචන හරියට කිය වෙන්නෙත් නෑ. ටුටූ එයත් එක්ක කතා කරනකොට වටේ හිටපු ගෑණු ළමයි ටික magic එකක් දිහා බලනවා වගේ සසින්දි දිහා බලන් හිටියා. එයාට දැන් දුකට වඩා කේන්තියි. එයාට මාව විහිළුවක් වෙලා.
“හා හා එහෙනම්” ටුටූ හිනා වෙලා සසින්දිට කීවා. එයා ටුටූ දිහා බලන්නේ වත් නැතුව එතනින් ආවා.
බෝඩිමට ආවට පස්සේ සසින්දිට හොදටම අවුල්. එයා මේ ටික දවසට ටුටූ ගොඩක් ලං වෙලා හිටියේ. එයා ගැන සෑහෙන්න හිතුවා. ඒත් ඉතින් එයා හිතපු කෙනා නෙවෙයි ඉන්නේ. ඒ හිටියේ එයාගේ girl වෙන්න ඇති. නැත්තම් අර විදියට ඉන්නේ නෑනේ. සසින්දි එක එක උපකල්පන කළා. එයාට මාරම දුකයි. එයා කන්නෙත් නැතුවම නිදා ගන්න ගියේ ඒකයි.
නිදා ගන්න ගියාට නිදා ගන්නත් බෑ..ඒකයි එයා fb පැත්තෙ ගියේ friend request එකයි  message එකයි. එයා ඉස්සෙල්ලම message එක බැලුවේ ඇස් අදහා ගන්නත් බෑ..ඒක ටුටූ ගෙන්.

“සොරි අද කරපු දේට... ඔයාගෙ හිතේ මං ගැන පොඩි හරි දෙයක් තියෙයිද කියලයි දැන ගන්න ඕන උනේ. මාව දැක්කම ඔයාගේ මුණ වෙනස් වුන හැටි. සොරි එහෙම දෙයක් කලාට. දැන් දවස් ගානක් තිස්සේ මං ඔයාව දකිනවා. ඒත් අහන්න හයියක් තිබුනෙ නෑ  ඔයා මට කැමතිද දන්නෙත් නෑනේ... ඒකයි එහෙම දෙයක් කලේ. ඒ හැමෝම මගෙ යාළුවො. එයාලට ඔයා ගැන කිවම කරන්න කියපු දේ තමා ඔය. අනේ සොරි ඒ වගේ ගොන් වැඩක් කලාට. හැබැයි වැඩේ සාර්ථකයි වගේ. ඒක එහෙම නේද...?”
සසින්දිට මුලින්ම තරහ ගියත් ඊට පස්සේ ලොකු හිනාවක් ගියා.
“මැට්ටා”

- සේයා -

No comments