Header Ads

සරසවී ගී සිසිල

එදා මෙදා තුර
මේ ඉර හඳ යට හමු වී
කතා කරපු අය
සෙනේ වඩපු අය
ළග පාතකවත් නෑ .....


90 දශකයේ එක්තරා දවසක මොරටුව සරසවියේ පටන් ගත් නවමු පාඨමාලාවකට විසිපස් දෙනෙකුගේ පමණ කණ්ඩායමක් එකතු වුණා. එක පවුලක සොයුරු සොයුරියෝ වගේ එදා පටන් ගත් ඒ සරසවි ජීවිතේ ඔවුන් ඇසූ පිරූ තැන් , කරපු කියපු දේ, ඔවුන් සරසවිය හැර ගියත් අදටත් ඡීවමානයි. විසිපස් දෙනෙකුගේ සුසංයෝගයෙන් ඇරඹි "ප්‍රමාණ සමීක්ෂණ" පාඨමාලාව හු‍දෙක්ම අධ්‍යාපනයට සීමා වූවක්ම නොවේය කියන්නට සුමනදාස මැද මිදුල සාක්ෂි දරනවා. 

ඒ කාලයේ මොරටු සරසවි එළිමහන් රංඟ පීඨයේත්, අපායේත් පුංචි පුංචි ප්‍රාසාංගික දේ සිදුමනොවුනාමෙ නොවේ. ඒ වුණාට එදා කාලේ හැටියට "සරසවි ගී සිසිල" කියන ප්‍රසංගය සුමනදාස මැද මිදුලේ ඇති කලේ පුංචි පහේ විප්ලවයක් කියන්නට පුලුවන්. නමුත් සුභාවිත සංගීතයට සමවැදුනු එදා ප්‍රසංගය

බලන්න ආපු අයට නම් ඒ සොඳුරු දෙතුන් හෝරාව භාවනාවක්ම වුණා. දයාරත්න රණතුංගයන්, අමරා

රණතුංගයන්, බණ්ඩාර අතාවුදයන්, විශාරද දීපිකා ප්‍රියදර්ශනී ඇතුළු රසික හදවත්හි ලැගුම් ගත් ප්‍රවීන

ගායක ගායිකාවන්ගේ සුමධුර ගායනයෙන් ඒ රාත්‍රිය විචිත්‍රවත් වූවා සේම විසි වසරක් පුරාවට සෑම අවුරුද්දක් පාසාම සංගීතලෝලීන්ගේ සිත් සමාධිගත කරන රාත්‍රියක් ඉතිහාස ගත කරන්නට අත්පොත් තැබුනාය කියන්නට පුළුවන්.

ගී සිසිලේ සොඳුරු බව අත්දකිද්දී එකී වේදිකාව ගොඩනගන්නට එදා අනේක විධ බාධාවන්ට මුහුණ

දුන්නේ අපේම අයියලා අක්කලා. ගමින් ගමට ගිහින් ticket , bookmark විකුණලා ආධාර ඉල්ලදිදී සංවේදී මිනිස් හිත් ඇති අපූර්ව මිනිසුන් ආධාර කලේ සතුටින්. ඒත් අවශ්‍ය ඉලක්කයට ලඟාවෙන්න වෙහෙස වෙද්දි වතුර පිපාසයවත් ඔවුන්ට නොදැනුන හැටි විසි හත් වන කණ්ඩායම වුණ අපිත් අත් දැකපු සත්‍යයක්. 

අමාරුවෙන් එකතු කරගත්තු මුදල් සීරුවට වියදම් කරලා සුමනදාස මැද මිදුලේ වේදිකාව හදන්නත් ඔවුන් ගත්තේ අපූරු උත්සාහයක්. ගී සිසිල වේදිකාව කියන්නේ වාස්තු විද්‍යා පීඨයේ සබැඳියාව මොනවට ඒත්තු ගන්වන්නක්. ඒ මොකද කිව්වොත් වාස්තු විද්‍යා පීඨයේ අනෙක් දෙපාර්තමේන්තුවල සොයුර සොයුරියන්ගේ නිර්මාණකරණයෙන් ලබා දුන් දායකත්වය නොවන්නට ගී සිසිල මෙතරම් විචිත්‍රවත් නොවන්නට තිබුණා. 


90 දශකයේ ගී සිසිලට අත් පොත් තබන කාලයේ එකතු වුණ මුදලින් ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනයේ නිරත වුන ආර්ථික අපහසුතා වලින් පීඩා විදි උපාධි අපේක්ෂකයන්ට පූර්වකාලීන ශිෂ්‍යත්වයක් ලබා දීමෙන් පූර්වාදර්ශයක් සැපයුනා යැයි කියන්නට පුළුවන්. මුල් කාලයේදී “QSS” හෙවත් ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සංගමය , ගී සිසිල සංවිධානය කලේ විසිපස් දෙනෙකුගෙන් යුතු වුනු පුංචි කණ්ඩායමකින් වුනත් 2010 අවුරුද්දේ පටන් FM නොහොත් පහසුකම් කළමණාකරන පාඨමාලාවෙහිත් සංයෝගයෙන් සුසැදි BESS හෙවත් ගොඩනැගිලි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමයේ ශක්තියෙන් අද වන විට වසරකට පූර්ණ කාලීන ශිෂ්‍යත්ව රැසක් ද, සිසුන් කිහිපදෙනෙක් සඳහා laptop, විෂයානුබද්ධ ග්‍රන්ථයන් මුද්‍රණය කොට ලබා දෙන අතරම සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ සාංඝික දානමය පිංකමක් පවත්වමින් ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ලබා ගන්නවා.

වසරකට විෂයානුබද්ධ මුද්‍රණ කටයුතු සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැරිය නොහැකි ආකාරයේ මුදලක් වැයවන බව මනාව වටහා ගනිමින් පසුගිය වසරේ පටන් මුද්‍රණාලය ආරම්භ කරමින් මුද්‍රණ සේවා ලබා ගැනීමට අවකාශය ලබා දීම තවත් සත්කාරයක්. 

මිය අමතරව පහසුනම් කළමණාකරන දිනය සංවිධානය කිරීමෙන්ද, සමීපතම ඥාතියෙකුගේ වියෝවකදී කරනු ලබන මූල්‍යමය සහය සහ ලබා දෙන්නා වූ ශ්‍රමදායකත්වයද අගය කල යුතුමය. ඉන් නොනැවතී සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුරත්, ළමා නිවාස හා දුෂ්කර පාසැල් සඳහා දියත් කරනු ලබන සමාඡ සත්කාර වැඩසටහන්ද ගී සිසිලට සමගාමීව කරන්නා වූ අනඟි සේවාවන්ය. 

එදා මෙදා තුර ගී සිසිලෙහි වරින් වර වෙනස්කම් සිදු නොවුනාම නොවේ. මුල් කාලයේදී අධ්‍යයන කණ්ඩායම් හතරේම සංවිධාන ශක්තියෙන් ඔද වැඩුණු ගී සිසිල පසුකාලීනව සිසු ප්‍රමාණය වැඩිවීමත් සමඟම එය සංවිධානය කිරීමේ භාරදූර කර්තව්‍ය සිව්වන වසරට පැවරැනා. එපමණක්ම නොවෙයි ගී සිසිලත් එක්ක එකතු වුනු කලා ශිල්පීන් දිහා බැලුවත් කාලයත් එක්ක පුංචි පුංචි වෙනස්කම් දකින්න පුළුවන්. කොහොම වුනත් ගී සිසිල හා සබැඳි මේ කලා ශිල්පීන් නම් කලා ලෝකයේ පරතෙරටම පැමිණි පිරිසක්. 

සම්ප්‍රවේෂක වසන්ත රෝහණයන්ගේ හඬිනුත්, සුසිල් අමරසිංහයන්ගේ සංගීත මෙහෙයවීමෙනුත් ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ සංගීත මිහිරියාවෙන් හැඩ ගැන්වුනු “සරසවි ගී සිසිල” කලාකාමී හදවත් එදත් අදත් එකසේ ස්පර්ශ කරන්නට සමත් වුනා. එදා වයලීනයේ තත් අතර රැඳුනු සුසිල් අමරසිංහයන්ගේ දෑත් සංගීතය මෙහෙයවීමට ආ මගෙහි කවුරුත් නොදන්නා රහසක් සැඟවිලා තියෙනවා. 

“2009 වසරේ ගී සිසිල වේදිකාවට වයලීන් වාදනයට පැමිණි සුසිල් අමරසිංහයන්ට ඉඩ මදි වුනාලු. ඒ නිසා එතුමන්ට සංගීතය මෙහෙයවන්නට ඇරයුම් කිරීමෙන් ගී සිසිලට නවමු අංගයක් එකතු වුනාලු. ඒ විතරක් නොවෙයි මේ කතාව නොදැන ඊළඟ ගී සිසිල පටන් හැම ගී සිසිලමද මෙහෙයවීම නැතුවම බැරි අංගයක් වුනාලු.”

මෙවන් ප්‍රභාවත් සාඩම්බර ඉතිහාසයකට නිතැතින්ම උරුමකම් කියන සරසවි ගී සිසිලේ අභිමානනීය විසි එක් වන දිගහැරුම 2016 ඇසළ මස 21 එනම් මේ බ්‍රහස්පතින්දා පස්වරු 6 ට ගොඩනැගිලි ආර්ථික විද්‍යා සිසු කණ්ඩායම එකමුතුවෙන් ඔපවත්ව කලා හිතැති සිත් පහන් ස්වරයෙන් සංධ්වනි ගත කරනු ඇත.


සඳ කැන් වැසිලා...
අඳුරේ එතිලා....
ඝනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝනදුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි.....

No comments