Header Ads

Job එකක් හොයාගන්නෙ කොහොමද? - 4 (මානසිකත්වය සකසා ගන්නා හැටි)

අද කතා කරමු, ඔබගේ මානසිකත්වය සකසා ගන්නා හැටි.

1. ඔබගේ ආකල්ප වෙනස් කරගන්න.

ඔයා රැකියාවක් හොයනව තමයි. නමුත්, "මම රැකියාවක් හොයනව" කියල හිතාගෙන සම්මුඛ පරීක්ෂණයකට යන එකයි, "ඔයාලට කරගන්න තියෙන වැඩ ටික කරල දෙන්නයි මම එන්නෙ" කියල හිතාගෙන සම්මුඛ පරීක්ෂණයකට යන එකයි අතර ලොකු වෙනසක් තිබෙනවා. ඔයා රැකියාවක් හොයනවා කියන්නෙ ඔයාට යමෙක් යම් දෙයක් දෙයි කියල ඔබ බලපොරොත්තුවෙන් ඉන්නව කියන එකනෙ. ඉතින් ඒකට මොකද්ද කරන්න ඕනෙ? ඒ අයගෙ හිතට වදින විදිහට, ඒ අයට ඔයාට කැමති වෙන විදිහට හැසිරෙන්න ඔබට සිදු වෙනවා. 


ඔබ ගැන හොඳ අදහසක්, ඔබ රැකියාවක් බලාපොරොත්තුවෙන් යන තැන ඉන්නගෙ හිතේ ඇති කරනවටත් වඩා ඔබ කළ යුතු දෙයක් තිබෙනවා. ඒ මොකද්ද? "ඔවුන්ට සහය වීමට ඔබට හැකියාව හා දැනුම තිබෙනවා" කියල පෙන්නන එක. 

ඔබ සම්මුඛ පරීක්ෂණයට මුහුණදෙන වෙලාවෙ කියන වචන වලින්, හැසිරෙන ආකාරයෙන්, සියළු දෙයින් ඔබ පෙන්විය යුතුයි, "මම මෙන්න මෙහෙම තමයි ඔබගේ ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්නේ" කියන එක. 

2. ස්ථාවර වෙන්න.

ඔබ මේ වෙනකොට රැකියා කිහිපයක්ම කරල තිබෙන කෙනෙක් වෙන්න ඉඩ තිබෙනවා. ඒ ඇයි කියන ප්‍රශ්නය ඔබෙන් අනිවාර්යයෙන්ම සම්මුඛ පරීක්ෂකයින් අසනවා. ඉතින් ඊට හොඳ පිළිතුරක් සකසාගෙන තියාගන්න. ඊට අමතරව ඔබට මේ රැකියාවේ ස්ථාවර විය යුත්තේ ඇයි යන්න පිළිබඳවත් හොඳ විස්තරයක් සකසා ගන්න. කිසිම සමාගමක් කැමති නෑ, ටික කාලයක් ඉඳල යන්න යන කෙනෙක්ව රැකියාවට ගන්න. 

ඔබ දැන් ඉන්න මට්ටම මොකද්ද, ඔබ ඒ මට්ටමේ තවත් කොතෙක් කාලයක් ඉන්න බලාපොරොත්තු වෙනවාද, ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳවත් කෙටියෙන් සඳහන් කළ හැකි විස්තරයකුත් සූදානම් කරගන්න.


මේ රැකියාව, මේ ක්ෂේත්‍රය තුළට ඔබ ඇතුළු වන්නේ ඇයි යන්නටත් පිළිතුරු ලබා දෙන්න ලෑස්ති වෙලා යන්න. ගැළපෙන හේතුන් ලබාදෙන්න. උදා: මේ ක්ෂේත්‍රයේ තමයි මේ වගේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉහළම තාක්ෂණය තිබෙන්නේ. ඉතින් මම මේ ක්ෂේත්‍රයට කැමති උනා" වගේ.

3. හැකියාවන්ට රැකියාවක් සොයන්න, රැකියාවකට හැකියාවන් බලන්න එපා.

හුඟක් අය කරන වැරදි දෙයක් තමයි, යම් රැකියාවක් තෝරාගෙන ඊට තමන් ගැළපෙනවද. ඊට අවශ්‍ය වෙන හැකියාවන් හා සුදුසුකම් මොනවාද කියල හොයන එක. එහෙම නෙමෙයි, අනිත් පැත්තට කරන්න උත්සාහ කරන්න. 
ඔබගේ හැකියාවන් ලැයිස්තුවක් සකසන්න. ඊට පස්සෙ බලන්න ඒ හැකියාවන්ට ගැළපෙන ක්ෂේත්‍ර මොනවාද, ආයතන මොනවාද, රැකියා මොනවාද කියල. ඔබෙන් වැඩක් වෙන රැකියා මොනවාද කියල. එහෙම එකකින් තමයි ඔබටත් අදාල සමාගමටත් සෑහීමකට පත් වෙන්න පුළුවන් වෙන්නෙ. 
ඔබ සොයා ගන්නා ලද රැකියා අවස්ථාව ඔබට, ඔබගේ පෞරුෂයට, ඔබට අවශ්‍ය වැටුපට හරියන රැකියාවක්ද කියල බලන්න. මොකද ඒ දේවල් ඔබට ගැළපුනේ නැත්තම් ඔබ ඒ රැකියාවෙන් සෑහීමට පත් වන එකක් නෑ. 
ඔබට උදේ පාන්දර ඇහැරෙන්න බැරි නම්, නැතිනම් රාත්‍රී සේවයේ යෙදෙන්න බැරි නම්, පාන්දර රැකියාවට යන්න ඕනෙ, නැතිනම් රාත්‍රී සේවා මුර කරන්න තිබෙන රැකියාවක් ඔබට හරියන්නෙ නෑනෙ, නේද? 
බය වෙන්න එපා. ඔයාට ගැළපෙන රැකියා අවස්ථාවක් දැක්කොත්, ඒකෙ තියෙන සියළුම සුදුසුමක් ඔයාට නැති උනා කියල ඒක අත ඇරල දාන්න එපා. සමාගමක් රැකියා අවස්ථා වල දැන්වීම් පල කරන්නෙ, ඔවුන් හොයන හරියටම ගැළපෙන රැකියා අපේක්ෂකයෙකුට තිබිය යුතු සුදුසුකම් යොදල. නමුත් 100%ක්ම ඒවට ගැලපෙන කෙනෙක්ම ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. එහෙම හිටියොත් ඉතින් එයාලගෙත් වාසනාවකට තමා. ඒවායින් යම් ප්‍රමාණයක් හරි ඔබට තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඒ රැකියා ඇබෑර්තුව ගැන සැළකිලිමත් වෙන්න ඕනෙ. ඔබට තිබෙන සුදුසුකම් ඔබ කොහොමද ඔවුන්ට කියල ඔවුන්ගේ සිත දිනාගන්නේ කියල හිතල සැළසුම් කරගන්න ඕනෙ. ඒත් එක්කම පසු කාලීනව (රැකියාව තුළ සිට) ඒ ඔබට තිබුණෙ නැති සුදුසුකම් ලබා ගන්නත් ඔබ සැළසුම් කරගෙන ඒවාත් ලබා ගත යුතු වෙනවා. එතන තමයි ඔබගේ රැකියාව තුල වර්ධනය සිදු වන්නේ. 


ඉතින් මෙතනින් මේ රැකියාවක් සොයා ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන ලිපි මාලාව අවසන්. නමුත් මේ විෂයය ගැන කතා කරල ඉවර නෑ. මේ පිළිබඳව තවත් අපි කතා කරමු ඉදිරියේදී. එකතු වෙලා ඉන්න ආරාධනා කරනවා.

මෙවන් වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධ ලිපි "Career Guidance" ටැගය යටතේ ඔබට කියවිය හැකියි.

-------------------------------------------------------------------------------------
මේ ලිපි ලියන මම,
ඉංජිනේරු මාධව හබරකඩ (AMIESL, BSc. Eng (Hons), Green SL® AP)

-------------------------------------------------------------------------------------

No comments