Header Ads

Mora Hiking Club


ඔහු නැවුම්ය. තරුණය. ක්‍රියාශීලිය. තීක්ෂණය. ආකර්ශණීය ය. “ඔහු” යෙදූ පමණින් අප මේ කතා කරන්නේ පුද්ගලයෙකු ගැන යයි ඔබ සිතනු ඇත. නැත, "Mora Hiking Club"; මොරටුව විශ්ව විද්‍යාලීය ක්‍රියාකාරී සංගම් එකතුවට අලුතෙන්ම එකතු වූ සාමාජිකයා ගැනයි අපි මේ කතා කරන්නට යන්නේ. ඉතා කුඩා ඉතිහාසයක් සහිත වුවත් Mora Hiking Club මගින් කෙරුණ වැඩ කොටස අති විශාලය. කෙටි කාලයක් තුල බොහෝ ශිෂ්‍ය ප්‍රමාණයකගේ අවධානය දිනා ගැනීමට එය සමත් වුයේ ඒ නිසාමය. මේ මස සය වෙනි දින ඔවුන් ඔවුන්ගේ පළමු වාර්ශික මහා සබා රැස්විම (Annual General Meeting) පැවැත්වීමට යයි. මේ සඳහා කැමැත්තක් දක්වන ඔබට 2016 ඔක්තෝබර් 06 වෙනි දින සවස පහයි තිහට ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවට රැස් වෙන ලෙස ආරාධනා කරන ගමන්ම, අප එහි ආරම්බකරු වන Mora Hiking Clubහි උප සභාපති ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ තෙවන වසරේ අධ්‍යන කටයුතු කරන හසිත සඳරුවන් ඒකනායක සොයුරාව කතා බහට එක්කර ගත්තෙමු.

මුලින්ම අහන්නම් ඇයි මෙහෙම දෙයක් විශ්ව විද්‍යාලයේ ආරම්බ කරන්න ඕන කියලා හිතුනේ?

මොරටුව විශ්ව විද්‍යාලය කියන්නේ තාක්ෂණික විශ්ව විද්‍යාලයක්නේ. අපේ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නේ ගොඩක් industrial පැත්තෙන් අනාගතයේ වැඩ කරන්න බලාපොරොත්තු වෙන අය. උදේ හවස අධ්‍යාපන කටයුතු එක්ක තමයි ඒ අය වෙහෙස වෙන්නේ. නමුත් අපි මෙයින් පිටවුණාම බාහිර සමාජය එක්ක සම්බන්දතා පවත්වන්නේ කොහොමද කියන එක ගැනත්, අභියෝග වලට මුහුණ දෙන්නත් ඉගෙන ගන්න ඕනෑ.

ඉතින් අපේ විශ්ව විද්‍යාලයේ ෆැකල්ටි තුනේම සොයුරු සොයුරියන්ට වෙනස් අත්දැකීමක් දෙන ගමන් ඔවුන්ගේ එකමුතුකම, සහයෝගය ගොඩ නගන්නත්, fitness එක වැඩි දියුණු කරන්නත් අපි Mora Hiking Club එක පටන් ගන්න හිතුවා.

කොහොමද එකට අඩිතාලම සකස් කලේ?

මුලින්ම අපි මේකට ව්‍යවස්ථාවක් සකස් කළා.ඊට පස්සේ අපි ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරුන් වන සුරංග ජයසේන සර් සහ විද්‍යාරත්න හේරත් සර්ගෙනුත්, අපේ විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශයේ රත්නමුදලි සර්ගේත් සහයෝගය ඇතිව Mora Hiking Club ආරම්බ කළා.

මේ වැඩේට කැමති සොයුරු සොයුරියන් දහ අටදෙනේ එකතු කරගෙන උතුවන්කන්ද තමයි අපි මුලින්ම අප්‍රේල් මාසේ තරණය කලේ. මේ වෙද්දී අපි hike පහක් ගිහින් තියෙනවා. ඒ වගේම සැප්තැම්බර් මාසයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සංවිධානය කරපු "Pera Champs" තරගයටත් අපේ සාමාජිකයින් අට දෙනෙක් සහභාගී වුණා. මේ වෙනකොට අපට අපේ විශ්ව විද්‍යාලයෙන් council approval එකත් ලැබිලා තියෙනවා. 

මේ වෙද්දී ඔයාලා තරණය කරලා තියෙන කඳු මොනවද?

කලින් කිව්වා වගේ අපි මුලින්ම තරණය කලේ උතුවන් කන්ද. ඊළඟට ලුල්කඳුර ගියා. ඒ මැයි මාසයේ. තුන් වෙනියට අපි ගියේ අලගල්ල. මේ ගමන් දෙකටම අපි එක බස් එකක් ගානේ තමයි යොදා ගත්තේ. අපේ හතරවෙනි ගමන වෙන බඹරකන්ද ගමනට සහභාගී වෙන ප්‍රමාණය වැඩි වුන නිසා බස් දෙකක් යොදාගන්න වුණා. අන්තිමට අපි ගියේ බතලේගල සහ නැවතත් උතුවන්කන්ද ටයි. ඒ ගමන් දෙකම එක දවසින් කලේ.

ඔය තරම් පිරිසක් එක ගමනකදී සහභාගී කරවාගන්න එක අමාරු නැද්ද? ඒක ඒ අයගේ වින්දනයට බාධාවක් කියලා හසිතට හිතෙන්නේ නැද්ද?

ඔව්, ඒ කතාව ඇත්ත. ඒ වගේමගොඩක් පිරිසක් එක ගමනකට අරන් යද්දී සංවිධාන කටයුතු කරන්නත් අමාරුයි. හතලිස් දෙනෙක් පැය දෙකෙන් යන ගමන සීයක් විතර සහභාගී වුනොත් පැය හතරකට වඩා යනවා. එහෙම වුණාම trail එක යද්දී කට්ටිය අතරමැදින් කණ්ඩායම් වලට කැඩෙනනවා. අතරමන් වෙනවා. මේ පැතිවල දුරකථනයෙන් සම්බන්ද කරගැනීමේ අපහසුතාත් තියෙන නිසා ඒ විධියට අතරමන් වුන පිරිස් හොයාගන්නත් ගොඩක් අමාරු වෙනවා. 
අපි එහෙම දේකට මුහුණ දුන්නා ලූල්කඳුර ගමනේදී. අපි කන්ද බහින්න පිටත් වුනේ ගොඩක් හවස් වෙලා. මේකෙදි head එකයි tail එකයි හරි පාරෙන් බැස්සත් අතරමැද හිටපු පිරිමි ළමයි දහයකින් හා ගැහැණු ළමයි අටකින් යුතු කණ්ඩායමක් දන්නේ නැතිව වෙන පාරකින් බැහැලා තිබුණා. එයාලා මග හැරුන බව අපි දන්නේ හැමෝම කන්ද බැස්සටත් පස්සෙයි. ඊට පස්සේ නැවත අපි කීප දෙනෙක් කන්ද නැගලා අනෙක් පාරෙන් ගිහින් ඒ අයව හොයාගෙන එක්කන් ආවා.

මේ අපහසුතා සලකලා බලලා අපි සැලසුම් කරන් ඉන්නේ මීට පස්සේ events වලට සීමා සහිත ගණනක් සහභාගී කරවාගන්නයි. එහෙම කලාම ඔය කියන විධියේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන් එකක් නැහැ කියලා හිතනවා.

මේ වෙනකන් ඔයාලා මුහුණ දීපු අනික් ගැටළු මොනවද කියලත් අපි දැනගන්න කැමතියි?

මුල් කාලේ මේ වගේ ගමනක් සංවිධානය කරද්දී ලොකු පීඩනයක් තිබුනා. ගමන් වලට සහභාගී වෙන ගොඩ දෙනෙක්ට අත්දැකීම් මදි නිසා නිතරම එයාලගේ ආරක්ෂාව ගැන කල්පනාවෙන් ඉන්න වුණා. දැන් නම් ඒ වගේ ප්‍රශ්න ගොඩක් අඩුයි. අපි එක්ක ගමන් ගිහින් පුරුදුවුණ කණ්ඩායමක් හැදිලා තියෙන නිසා ඒ අයගේ සහයෝගයත් ලැබෙනවා. ඒ වුණත් ගමනක් ගිහින් එනකම් ලොකු වගකීමක් දැනෙනවා.

හොඳයි, Mora Hiking Club එකෙන් සංවිධානය කරපු event වලින් හසිත වැඩියෙන්ම කැමති මොන ගමනටද?

අලගල්ල කන්ද තරණය කරපු එක තමයි කැමතිම ගමන. යාලුවෙකුයි මමයි මුලින්ම ඒකට pilot hike එකක් ගියා. අපි එකේදී සැලසුම් කලේ පොත්තපිටිය පාරෙන් නැගලා ආයෙත් ඒ පාරෙන්ම බහින්නයි. නමුත් hike එකේදී අපිට පොත්තපිටිය පාරෙන් නැගලා, peak එක කඹයක් ආධාරයෙන් පූජාගල පැත්තෙන් බහින්න පුළුවන් වුණා. ඒ ගමන ගැන සතුටුයි.

අවසන් වශයෙන් Mora Hiking Club එකත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන විශ්ව විද්‍යාලයේ සහෝදර සහෝදරියන්ට මොනවා හරි කියන්න තියෙනවද?

ඔව්, hike එකක් යද්දී මුලින්ම ආරක්ෂාව ගැන හිතන්න කියලා තමයි හැමෝගෙන්ම ඉල්ලන්නේ. ගමන යද්දී ගොඩක් කල්පනාවෙන් ඉන්න. මුලින් කිව්වා වගේ අතරමන් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම නොහිතපු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ගල් පෙරලීම, මීදුම ඇවිත් පාර අපැහැදිලි වීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා ගමන ආරම්බයේදී අපි දෙන උපදෙස් පිළිපදින්න කියලා ඉල්ලීමක් කරනවා.

විශේෂයෙන් කියන්න ඕනේ අභියෝගාත්මක බව වගේම මේ හැම ගමනක්ම විනෝදජනකයි. ඒ වගේ අලුත් අත්දැකීමක් ලබන්න හයවෙනිදාට ඇවිත් Mora Hiking Club එක එක්ක එකතු වෙන්න කියලා අපේ විශ්ව විද්‍යාලයේ සියළුම සොයුරු සොයුරියන්ට විවෘත ආරාධනාවක් කරන්නත් කැමතියි.

සටහන - චමේලි ඉඳුමිණි ජයවර්ධන (වාස්තු විද්‍යා දෙපාර්තමේන්තුව, අවසන් වසර)
ඡායාරූප- Mora Hiking Club

No comments