Header Ads

තොටුපොළට පෙර



ඔබේ මනසේ දිගහරින මේ චිත්‍රය මීට පෙර ඔබ විසින් රසවිඳ ඇතුවාට සැක නැත. එහි අස්වාදජනක බව ඔබ හොඳින් දනී. විඩාබර බර දවසක අවසානයේ ඔබට අත්විඳීමට ලැබෙන සව්ම්ය සැන්ඳෑවකි මෙය. අහස රත් පැහැ ගන්වමින් අවරගිරින් හිරු බැස යනු පෙනේ. දවාලෙහි තීබූ උණුසුම් සුළඟ වෙනුවට සිහිල් සුළඟක් ගත දැවටෙයි. ඔබ ඉදිරියේ බැස යන හිරු එළියේ පැහැයෙන් දිලිසෙමින් ගලායන සීතල ජල කඳකි. කෙටියෙන් කිවහොත් මේ සැන්ඳෑවේ ඔබ ඇවිත් සිටින්නේ තොටුපොලකටයි. එයින් නික්මෙන්නට ආසන්න යාත්‍රාවකි. පසුබිමෙන් ඇසෙන මිහිරි සංගීතයයි.

මෙම පූර්විකාව කුමක් සඳහාදැයි ඔබ සිතනු ඇත. එය දැනටමත් ඔබ දන්නා 2016 ඔක්තෝබර් හය බ්‍රහස්පතින්දා සැදෑවේ මොරටුව විශ්ව විද්‍යාලීය ශාස්ත්‍රීය සංගීත සංසදය (Classical Music Society) මගින් ඔබ හමුවේ පවත්වන්නට යෙදෙන "තොටුපොල" සංගීත ප්‍රසංගය පිළිබඳවයි.

යාත්‍රාවක් දියඹට යැවෙන්නේ තොටුපොලකිනි. "තොටුපොල"; "යාත්‍රා"වට පෙර සූදානමක් වශයෙන් කෙරෙනා සංගීත සැන්දෑවයි. "තොටුපොල කියන්නේ තවත් සංගීත ප්‍රසංගයක් නෙමෙයි. අපි මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ශාස්ත්‍රීය සංගීත සංසදය කියන්නේ මොකක්ද කියලා අපේ විශ්ව විද්‍යාල ප්‍රජාවට අදහසක් දෙන අතරේ අපිට අලුතින් එකතු වුණ සාමාජිකයින්ට ශාස්ත්‍රීය සංගීතය ගැන දැනුමක් ලබාගන්න අවස්ථාවක් ලබාදෙන එක වගේම අපේ සංසදයෙන් වෙන වැඩකටයුතු ගැන අවබෝධයක් ලබාගන්න සලස්වන එකයි". තොටුපොල සංගීත සැන්දෑවේ අරමුණ පැහැදිලි කරමින් මෙම ලිපියට අවශ්‍ය තොරතුරු සැපයීමට මේ ආකාරයෙන් අප සමග එකතු වුනේ රසායන ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ දෙවන වසරේ අධ්‍යන කටයුතු කරන ශාස්ත්‍රීය සංගීත සංසදයෙහි සාමාජිකයෙකු වන දිලීප ප්‍රවීන් වීරසූරිය සොයුරායි.

මෙය ආවට ගියාට සිදුවන කාර්යක් නොවේ. ගණනින් හැත්තෑවකට අධික පිරිසක් දිගුකාලයක් තිස්සේ කෙරෙන පුහුණුවීම් වල අවසානය තොටුපොල ප්‍රසංගයේ සනිටුහන් වේ. "අපි මාසෙකට වැඩි කාලයක් තිස්සේ හැමදාම හවසට අධ්‍යන වැඩකටයුතු ඉවර වෙලා පුහුණුවීම් කරනවා. ගායනයෙන් පනස් දෙනෙකුත් වාදනයෙන් විසි දෙනෙකුත් තොටුපොළට එකතු වෙනවා." ප්‍රවීන් තව දුරටත් එකතු කළේය. තොටුපොළෙහි අන්තර්ගතය පිළිබඳව මා ඇසු පැණයට ඔහු පිළිතුරු දුන්නේ මෙය හුදෙක්ම ශාස්ත්‍රීය සංගීතයෙන් පමණක් ඔපවත් වන සැදෑවක් නොවන බවයි. උසස් රසවින්දනය වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි ද්විභාෂාවෙන්ම හරවත් ගීත බොහොමයක් තොටුපොළට ඇතුලත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

"අපි තොටුපොල පවත්වන්නේ කාටත් හොඳින් දැනෙන "ආදරය" තේමාව කරගෙනයි. කතාවක් ගලාගෙන යන විධියට බලාපොරොත්තුව, ආදරය, විරහව, වේදනාව කියන ආදරයේ හැම පැතිකඩක්ම නිරූපරණය වෙන ගීත මේකට ඇතුලත් කරලා තියෙනවා. මේ තේමාව වඩාත් හොඳින් රසවිඳින අයට ගෙනියන්න අපිත් එක්ක නිවේදනයෙන් දෙන්නෙක් එකතු වෙනවා" මෙවර තොටුපොළෙහි සැලසුම ඔහු ඉදිරිපත් කළේය.

මෙය කියවන ඔබට තවත් එක් අතුරු ප්‍රශ්නයක් නැගෙනු ඇත. ඒ නම් 2016 වසරේ "යාත්‍රා" ප්‍රසංගය නොපැවැත් වූ නිසා ඒ වෙනුවට "තොටුපොල" සංගීත සන්ධ්‍යාව පවත්වන්නේද යන්නයි. නැතිනම් "යාත්‍රා" ප්‍රසංගය පැවැත්වීමේ යම් ගැටළුවක් ඇත්ද යන්නයි. මේ සම්බන්දයෙන් ඇසූ ගැටලුවට ඔහු ප්‍රසංග දෙකෙහිම සැබෑ පසුබිම පැහැදිලි කරමින් පිළිතුරු දුන්නේය. "යාත්‍රා ප්‍රසංගයට මාස තුනක් විතර තිස්සේ ළමයි මහන්සි වෙලා, මහන්සි වෙලා ලොකු ප්‍රසංගයකින් එක පාරටම ඉවර වෙනවා. නමුත් ඇත්තටම වෙන්න ඕන දේ එක නෙමෙයි. ළමයින්ට ශාස්ත්‍රීය සංගීත සංසදයෙන් වෙනදේ හැමදාමත් දැනෙන විධියේ දෙයක් කරන එකයි. "යාත්‍රා" නොකරනවා නෙමෙයි. මේ පාර අපි යාත්‍රා ප්‍රසංගය පවත්වනවා. අවුරුද්දක් හැර අවුරුද්දක් වගේ යාත්‍රා ප්‍රසංගය පවත්වන්න තමයි දැනට අදහස් කරන ඉන්නේ. "තොටුපොල" සිද්ධ වෙන්නේ යාත්‍රා ප්‍රසංගයට පෙර සූදානමක් විදියටයි. අපේ විශ්ව විද්‍යාලයේ සොයුරු සොයුරියන්ට මොරටුව විශ්ව විද්‍යාලීය ශාස්ත්‍රීය සංගීත සංසදය කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා දීල, සංගීතය ගැන ආසාවක් ඇති කරලා යාත්‍රා ප්‍රසංගයට සංගමයේ සහෝදර සහෝදරියන්ව සූදානම් කරන එක තමයි තොටුපොල සංගීත සැදෑවෙන් කරන්නේ". ප්‍රවීන් කියනා ආකාරයට ඔවුන් මේ සඳහා සංවිධානය කරන වෙනත් ඉසව් ද ඇත. කැලිප්සෝ සංගීතය මූලික කරගනිමින් මෑතකදී කල ප්‍රසංගය ඊට උදාහරණයකි. මීට අමතරව "අද අපි" නමින් සෑම සතියකම සංගමයේ සාමාජිකයින්ට තම දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලබාදෙන අරමුණෙන් කරන කුඩා ප්‍රසංග ශාස්ත්‍රීය සංගීත සංසදය තුල වේ.

තොටුපොල සංගීත සැන්දෑව පිලිබඳවත් මොරටුව විශ්ව විද්‍යාලීය ශාස්ත්‍රීය සංගීත සංසදය ගැනත් ඔහුගේ අදහස විමසීමටද අපි අමතක කලේ නැත. ඒ සමගම මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු කරන ඔබ වෙනුවෙන් ඔහුට කීමට ඇති දේත් විමසන ලදී. " ශාස්ත්‍රීය සංගීත සංසදය කියන්නේ ඇත්තටම විඳින්න පුළුවන් තැනක්. විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්නේ සමාජයේ බුද්ධිමත්ම ජන කොටසක්නේ. ඒ අයට ගැලපෙන උසස් රසවින්දනය පදනම් වුණ ගීත තමයි අපි ප්‍රසංගයකදී ඉදිරිපත් කරන්නේ. හරසුන් නිර්මාණ කරන්නේ නැහැ. හිතන්න දෙයක් එක්ක උසස් රසවින්දනයට අයිති ගීතවල විවිධ පැති අපි තොටුපොලේදී ඉදිරිපත් කරනවා. අපි මේකට පරීක්ෂණ කරලා බැලුවා. ඉතින් හැමෝටම අලුත් අත්දැකීමක් විඳින්න, අලුත් විධියට දකින්න "තොටුපොල"ට එන්න කියලා ආරාධනා කරනවා".

ප්‍රසංගයට පෙර ඔබව දැනුවත් කිරීම වෙනුවෙන් අවසානයේ ඔහු MoraMag.com වෙතට ස්තූතියද පුද කළේය. 

සංගීතය මිහිරි බව ඔබ දනී. වෙහෙසකර සැදෑවක ඇසෙනා සව්ම්ය සංගීතය ඊටත් වඩා මිහිරිය. ඉතා හොඳ පෙර පුහුණුවක් සහිතව කෙරෙනා "තොටුපොල" සංගීත සැදෑව ඒ සඳහා ඔක්තෝබර් හය සවස හයයි තිහට Old Gym හිදී දෙපැයක් මුළුල්ලේ නොමිලේම ඉඩ හසර සකස් කරදෙනු ඇත. මේ සඳහා අපි ඔබට ගව්රවයෙන් ඇරයුම් කර සිටිමු.

සටහන - චමේලි ඉඳුමිණි ජයවර්ධන (වාස්තු විද්‍යා දෙපාර්තමේන්තුව, අවසන් වසර)

No comments