Header Ads

ලොවක් දිනූ මොරටු Rowing සූරයෝ

පුද්ගල පෞරුෂත්වය සහ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට ක්‍රීඩාව ඉමහත් ලෙස දායක වෙයි. නමුත් අධ්‍යාපන සහ රැකියා කටයුතු වලට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන ශ්‍රී ලාංකීය සමාජය තුළ ක්‍රීඩාවට හිමිව ඇති ස්ථානය එතරම් සතුටුදායක නොවේ. බොහෝ දෙනෙක් පාසල් කාලය තුළ මෙන්ම ඉන් පසුවද කිනම් හෝ ක්‍රීඩාවක යෙදී නොමැත. ක්‍රීඩාවට ඇළුම් කලත් ඒ සඳහා කාලය වෙන් කරගත නොහැකි වීම සමහර අයට ඇති ගැටළුවකි. අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩාව යන දෙකම එකවර කරන්නට යාමෙන් ඉන් එකක්වත් සාර්ථකව කරගත නොහැකි වනු ඇතැයි යන වැරදි මතයක් ද සමාජය තුළ පවතී. මේ නිසා පාසල් යන තම දරුවන් ක්‍රීඩාවෙන් ඈත් කර තැබීමට බොහෝමයක් දෙමව්පියෝ උත්සාහ කරති. 

ක්‍රීඩාව සහ අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන යා නොහැකි බවට සමාජය තුළ පවතින මතය වැරදි බව පෙන්වාදෙන සිදුවීමක් පසුගියදා වාර්තා වුණි. ඒ මොරටුව විශ්ව විද්‍යාලීය ඔරු පැදීමේ කණ්ඩායම ලැබූ අන්තර්ජාතික ජයග්‍රහණයයි. මැලේසියාවේ පුට්‍රජය ජල ක්‍රීඩා සංකීර්ණයේ දී ඔක්තෝබර් 10 සිට 15 වනදා තෙක් පැවති Varsity ඔරු පැදීමේ තරගාවලියේ පිරිමි 4- ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයේ ඔරු පැදීමේ කණ්ඩායම සමත් විය. විශ්ව විද්‍යාලිය අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රීඩා කටයුතු ද සාර්ථකව සිදු කර ගනිමින් එකී අන්තර්ජාතික ජයග්‍රහණය ලබා ගැනීමට ඔවුන් සමත් වන්නේ බාධක රැසක් මැඩ ජයගත් ක්‍රීඩක කණ්ඩායමක් ලෙස ඉතිහාසගත වෙමිනි. 

තරගාවලියට සහභාගී වූ මොරටු පුතුන් 

වෙහෙසවිමකින්, කැපවීමකින් තොරව ලබාගත හැකි ජයග්‍රහණයක් නොමැතිය. ක්‍රීඩාවද එබඳුය. නිරන්තර පුහුණුව මෙන්ම අධිෂ්ඨානය, උනන්දුව සහ කැපවීම තුලින් තම දක්ෂතා වැඩි දියුණු කර ගැනීම ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගැනීමට ඉතා වැදගත් වෙයි. එමෙන්ම නිවැරදි මාර්ගෝපදේෂණය ද මෙම ජයග්‍රහණ සඳහා ලබා දෙන්නේ නොමඳ දායකත්වයකි. යම් ක්‍රීඩාවකින් දේශීය මට්ටමේ තරගයක් ජය ගැනීමට පවා කෙතරම් කැපවීමක් සිදු කල යුතුද යන්න පිළිබඳව දන්නෝ දනිති. ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඇති සම්පත් ප්‍රමාණය ඉතා සීමිතය. එම සීමිත සම්පත් ප්‍රමාණය නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ලැබීමට කෙතරම් කැපකිරීමක් කල යුතුද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. එය එතරම්ම අපහසුය. නමුත් උත්සාහවන්තයාට කළ නොහැක්කක් නොමැති බව, ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින්ම පවා පසක් වී ඇත්තේ වරක් දෙවරක් නොවේ. සුසන්තිකා ජයසිංහ වැනි ඔලිම්පික් ජයග්‍රහණ ලද ක්‍රීඩිකාවන් පවා ශ්‍රී ලංකාවෙන් බිහිවන්නේ එකී දහසකුත් බාධක මැඩගෙන ඉදිරියට යාමට ඔවුන් කළ ඉමහත කැපකිරීම් නිසා බව පැහැදිලිය. "නොහැකිය" යන පටු, සෘණාත්මක ආකල්පයෙහි ගැලී එක තැන පල්වෙමින් නොසිට "හැකිය" යන හැඟීමෙන් සහ දැඩි උත්සාහයෙන් කටයුතු කිරීමෙන් ජිවිතයේ බොහෝ අරමුණු ජයගත හැකි බව එකී උදාහරණ අපට පසක් කර දෙයි. 


දකුණු ආසියානු සහ අග්නිදිග ආසියාතික රටවල සහභාගිත්වයෙන් පැවති Varsity තරගාවලිය සංවිධානය කරන ලද්දේ මැලේසියාවේ අධ්‍යාපන අමාත්‍යංශය සහ මැලේසියානු තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධයෙනි. මොරටුව විශ්වවිද්‍යාලීය ඔරු පැදීමේ කණ්ඩායමේ සාමාජිකයන් මෙහිදී තරග ඉසව් 6 කට සහභාගී වී ඇත. ඉන් හතරකම අවසාන තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් සමත්වීම කැපී පෙනෙන සිදු වීමකි. Men's four, Women's eight, Men's pair සහ Women's scull යන ඉසව් වල අවසන් තරග සඳහා එසේ සුදුසුකම් ලබා ගැනීමට ඔවුහු සමත් වූහ. එහි කූටප්‍රාප්තිය සිදු වූයේ සුපුන් නිශ්ශංක, S.A.B. සිල්වා, V.Y.S. සුමනසේන, මලිත් තිවංක යන සිව් දෙනාගෙන් සමන්විත කණ්ඩායම Men's four ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමෙනි. තවද සසදා චන්ද්‍රරත්න ක්‍රීඩිකාව Women's scull ඉසව්වේ සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය. බොල්ගොඩ ගංතෙරට සමීපව පිහිටි මොරටුව විශ්වවිද්‍යාලය, අන්තර්ජාතික තරගාවලියක පදක්කම් සටහනට ශ්‍රී ලංකාවේ නාමය එක් කරන්නට සමත් වන්නේ එකී ක්‍රීඩාව වෙනුවෙන් විශ්ව විද්‍යාලීය ඔරු පැදීමේ කණ්ඩායමේ මහත් වූ කැපවීම හේතුවෙනි. 

Men's four ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් අපේ වීරයෝ 

ක්‍රීඩා අතළොස්සක් හැරුණු විට බොහොමයක් ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයෙන් ගිලිහී පවතී. එසේ අවධානයෙන් ගිලිහුණු ඇතැම් ක්‍රීඩා වලට අන්තර්ජාතික මට්ටමේදී හිමිවන අවධානය නම් සුළුකොට තැකිය නොහැක. වෙනත් රටවල එවැනි ක්‍රීඩාවලට ඇත්තේ ඉතාමත් දැඩි තරගකාරී පරිසරයකි. එමෙන්ම ඔවුන් සතු ක්‍රීඩා පහසුකම් ද ඉහළ තත්ත්වයේ පවතී. ආසියාවේ එවැනි රටවල තරගකාරී ක්‍රීඩා කණ්ඩායම් වලට පවා අභියෝගයක් වෙමින් මොරටුව විශ්වවිද්‍යාලීය ඔරු පැදීමේ කණ්ඩායම වාර්තා කල ජයග්‍රහණය ශ්‍රී ලාංකීය තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ක්‍රීඩාවට පිවිසීමට බලාපොරොත්තු වන පිරිස ද ආදර්ශයක් කරගත යුත්තේ එබැවිනි. කෙතරම් බාධක මධ්‍යයේ වුව ද උත්සාහය සහ කැපවීම ඇත්නම් ඔබට ගමන් කල හැකි දුර බොහෝය. 

මොරටු පුතුන් ලක් මවුන් බැබලවූ වගයි 

ඔව්. ලොව අනෙකුත් රටවල් සහ විශ්වවිද්‍යාල සමග සසදන විට මොරටුව විශ්ව විද්‍යාලයේ rowing crew එක ලබා තිබෙන්නේ ඉමහත් ජයග්‍රහණයක්. ඉතා අවම පහසුකම් යටතේ දිවා රෑ නොබලා පුහුණුවීම් වල නිරත වෙමින් අපේ වීරයින් මේ ලබා ගත් ජයග්‍රහණය කෙතරම් නම් විශිෂ්ටද ? මොවුන්ට නිසි පරිදි අනුබල , අනුග්‍රහ ලැබෙනවානම් මොරටු අපේ සරසවි නම තව තවත් අන්තර්ජාතික වශයෙන් වීර පුතුන් නාමාවලියේ ඉදිරියටම පැමිණේවි.ඉතින් moramag අපි ඔවුන්ට ඉදිරියට යාමට අවැසි සියලු ශක්තිය ධෛර්ය ඉත සිතින් පාර්ථනා කරනවා. Mora rowing ඔබට ජය..!!! 

මෙම විස්තරය MoraMag වෙත ගෙන ආවේ තොරතුරු තාක්ෂනය පිඨයේ 3 වන වසර ඉගෙනුම ලබන සචිනි ජාගොඩආරච්චි විසිනි. 

No comments