Header Ads

Job එකක් හොයාගන්නෙ කොහොමද? - 3 (වේදිකාව සකසා ගන්නා හැටි)

අද කතා කරමු, තවත් සූදානම් වන හැටි.

1. අවිධිමත් සම්මුඛ පරීක්ෂණ සිදු කරන්න.

මේක ලංකාවෙ සිදු වෙන්නෙ නැති උනත්, වෙනත් රටවල් වල නම් සිදු වෙනවා. යම් වෘත්තිකයෙක් හමු වෙලා නැති නම් එහෙම කෙනෙක්ට තේ එකකට, කෑමකට ආරාධනා කරල, ඔහුත් එක්ක / ඇයත් එක්ක, වර්තමාන රැකියා ගැන, කර්මාන්ත ගැන, ඔහුගේ / ඇයගේ රැකියාව ගැන සාකච්ඡා කිරීම. හැබැයි මතක තියාගන්න ඕනෙ, ඇතිවෙන්න ප්‍රශ්න ලෑස්ති කරගෙන යන්න.


මතක තියාගන්න, මේ හමුවීම, ජොබ් එකක් අල්ලගන්න කරන හමුවීමක් නෙමෙයි, අන්තර් සබඳතා ඇති කරගන්න දැනුම ලබා ගන්න කරන හමුවීමක්. 
ඒ අය හරහා ක්ෂේත්‍රයේ ඉන්න වෙනත් ප්‍රවීණයන්, වෘත්තිකයින් ගැන තොරතුරු දැනගන්නත් පුළුවන්. ඉතින් මේක හොඳ ක්‍රමයක් සබඳතා ගොඩ නඟාගන්න. 
ඉතින් හමුවීම අවසන් වන විට, ඔබට පුළුවන් ඔහු / ඇය කැමති නම් ඔවුන් සම්බන්ධ කරගත හැකි වෙනත් විස්තර ඉල්ලා ගන්නට. ඔබේ විස්තරත් ඔවුන්ට දෙන්න අමතක කරන්න එපා. 

මේ හමුවීමෙන් ඔබට ඇයගේ / ඔහුගේ සිත දිනාගන්න පුළුවන් උනා නම්, ඔවුන්ට දැනගන්නට ලැබෙන ඇබෑර්තුවකට ඔබව රෙකමදෝරු කරන්න උනත් ඔවුන් ඉඩ තිබෙනවා.

2. විවිධ අය සමඟ සම්බන්ධ වන්න.

ඔබ දන්නවද? වැඩ කරන්න හොඳම සමාගම්, තමන්ට අවශ්‍ය සේවකයින් වැඩිපුරම සොයාගන්නෙ එම සමාගමේ පුද්ගල සබඳතා හරහායි. ඉතින් ඔබ මොකද්ද කරන්න ඕනෙ? ඔබට සිටින මිතුරන්, නෑදෑයින් සේවය කරන සමාගම් වල ඔබට ගැළපෙන රැකියා අවස්ථා තිබෙනවාද කියල ඔවුන්ගෙන් අහල බලන්න. තිබෙනවා නම් ඔබව ඊට රෙකමදෝරු කරන්න හැකියාවක් තිබෙනවාද කියල අහල බලන්න. තදින් කියන්නත් එපා, ඕනෙවට වඩා වැළපෙන්න යන්නත් එපා. හරියටම ඔබට ඕනෙ දේ කියන්න. ඒත් එක්කම කියන්න ඔබ ඕනෙම දේකට නම්‍යශීලී බව. සමහරවිට ඔබට හරියටම අවශ්‍ය රැකියා ඇබෑර්තු එතන නොතිබෙන්න ඉඩ තිබෙනවා. මේ අවස්ථාවේදී ඔබ අවස්ථානුකූලව නම්‍යශීලී විය යුතුයි. පස්සෙ පුළුවන් වැටුප් වර්ධක ඉල්ලන්න, රැකියාව වෙනත් තනතුරකට මාරු කරගන්න වගේ දේවල් කරන්න. 
ඔබ ඔබගේ resume/CV එකේ දාල තිබෙන නිර්දේශකයින් (Referees) එක්ක කාලෙන් කාලෙට කතා කරන්න. ඒකෙ ප්‍රයෝජන දෙකක් තිබෙනවා. 1. ඔවුන්ට ඔබ ගැන මතකය අලුත් කරන්න. ඔබගේ නිර්දේශකයින් ඔබ ගැන හොඳ මතකයන් තිබෙන අය වෙන්න ඕනෙ. 2. ඔවුන් හරහා වුවත් ඔබට රැකියා ඇබෑර්තු ගැන තොරතුරු ලබාගන්න අවස්ථා සැළසෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබගේ resume එකෙහි නවතම සංස්කරණයක් ඔවුන්ට ලබාදී ඔබ ගැන ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමත් උවමනායි.
මට අවස්ථාවක් මතකයි විශ්ව විශ්ව විද්‍යාලයේදී සිදු උනු. අපි විශ්ව විද්‍යාලයේ ඉගෙනීම අවසන් කර මාස 7-8ක් ගිහිල්ල. මම වරක් ගියා අපේ දෙපාර්තමේන්තුවට යම් අවශ්‍යතාවයකට අපේ Department Head මුණගැහෙන්න. එතන මම ඉන්නවිට ඇයට දුරකතන ඇමතුමක් ආව. කතා කළ කෙනා ඇසුවේ අපේ දෙපාර්තමේන්තුවේ සිටි සිසුවෙක් ගැන. ඇය කිව්ව "ඔව් ඔව්, ඒ student හොඳට වැඩ කළා, බාහිර කටයුතු වලටත් සහභාගී උනා. හොඳට perform කළ ළමයෙක්" කියල. ඊට පස්සෙ ඇය මගෙන් ඇහුව, "කවුද මාධව ඔයාලගෙ බැච් එකේ <මගෙ මිතුරෙක්ගෙ නමක්> කියන්නෙ?" කියල!!!
ඉතින්, අන්න ඒ වගේ අපහසුතාවයකට ඔබගේ නිර්දේශකයා පත්වන්නට ඔබ ඉඩ තබන්න එපා. බැරි වෙලා හරි ඒ ආකාරයේ ඇමතුමක් එන වෙලාවෙ ඔහු/ඇය යම් තරහකින්/සිත් තැවුලකින් සිටියා නම්, අනිවාර්යයෙන්ම කියයි, "මට මතක නෑ" "මම දන්නෙ නෑ" වගේ දෙයක්. එතනින්ම ඔබේ අවස්ථාව ඔබට අහිමි වෙනවා. 
තවත් දෙයක්. ඔබට කෙලින්ම තිබෙන සබඳතා ගැන විතරක් බලමින් ඉන්න එපා. ඊටත් එහාට යන්න. දුර්වල සබඳතා උනත් වටිනවා. ඔබගේ සොහොයුරා වැඩ කරන ආයතයේ රැකියා අවස්ථාවක් ඔබට කියාවි යයි ඔබ බලාපොරොත්තු වෙනව. නමුත් ඔහුගේ මිතුරෙකු වැඩ කරන සමාගමක ජොබ් එකක් තිබ්බොත්? අන්න ඒ වගේ සබඳතා හරහා උනත් රැකියා සොයන්නට පුළුවන්.
ඉතින් ඒ වගේ දුර සම්බන්ධතා එක්කත් කතා කරල බලන්න අමතක කරන්න එපා. 

3. ස්වේච්ඡාවෙන් සම්බන්ධ වන්න.

ඔබ දැනටමත් කරන්නේ නැති නම්, ඔබ කැමති ආකාරයේ දෙයක් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතනයකට ස්වේච්ඡාවෙන් සහය වන්න. (ඔවුන් ස්වේච්ඡා සේවකයින් යොදා ගන්නවා නම්) මුලදි ඉතින් පොඩි පොඩි කම්මැලි වැඩ කරන්න වෙයි. නමුත් ටික කාලයකදි ඔයා මහන්සි වෙලා වගකීමෙන් වැඩ කරනව වගේ පෙනුනොත් එයාල ඔයාට වඩා වැදගත් ලොකු වැඩ දෙයි. මේකෙන් ඔයා වැඩ කරනව විතරක් නෙමෙයි, ඔයාට එක එක වැදගත් අයව හඳුනා ගන්න ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙනවා. ඒත් එක්කම ඒ කරන වැඩ ඔයාගෙ Resume/CV එකට එකතු කරන්නත් පුළුවන්. හුඟක් සමාගම්, එහෙම සමාජ සේවයක් කරන පුද්ගලයින්ව රැකියාවන්ට ගන්න කැමතියි.


විවිධ පුහුණු කාලයනුත් මේකට වැටෙනව. Internships නැත්තම් Vocational Training කියන්නෙ. සමහරක් ඒවායේදී යම් ගෙවීමක් කරනව, සමහර තැන් වල ගෙවන්නෙ නෑ. නමුත් මේක ඉතාම හොඳ අවස්ථාවක් ඔබට රැකියාවක් ස්ථාවර කරගන්න. මොකද තැන ඔබ දන්නව, කරන්න තියෙන වැඩ දන්නව, එතන ඉන්න අයව දන්නව. ඔබ ඒ ඉන්න කාලය හොඳින් වැඩ කළොත් ඔබට එතන එන ඇබෑර්තුවකට ඉල්ලුම් කර ඉහළින්ම ජය ගන්න හෝ ඇබෑර්තුවකට ආයතනය මගින්ම ඔබට කතා කරන්නට ඉඩ තිබෙනවා. 
ඔබ විශ්වාස කළත් නොකලත්, ස්වේච්ඡා සේවා හා Interns කියන්නෙ හුඟක් ආයතන කෙලින්ම රැකියා වලට සේවකයින් බඳවා ගන්නා ප්‍රධාන ක්‍රම දෙකක්. මොකද ඒ දෙකේදිම, ආයතනය ඒ පුද්ගලයින් ගැන හොඳින්ම දන්නවා. දැන් කාලෙ සමාගම් ටිකක් අදිමදි කරනව, මුදල් වැය කරල අඳුරේ අප පත ගානව වගේ නොදන්නා අයව රැකියාවට ගන්න. දන්න කෙනෙක්ව ගන්න එක ලාභදායී හා පහසු ක්‍රියාවක්. ඉතින් ඔබ හොදට වැඩ කරල වර්ණ පෙන්නුවොත්, සමාගමක් කිසි විටෙක කැමති වෙන්නෙ නෑ ඔබ වගේ වටිනා කෙනෙක්ව නැති කරගන්න. 

4. කතා කරල බලන්න.

ඔබට වැඩ කරන්න කැමැත්තක් තිබෙන ආයතනයක ඔබට සහයක් විය හැකි කෙනෙක්ව තෝරාගෙන (HR Manager වගේ කෙනෙක්) ඔහුට / ඇයට දුරකථන ඇමතුමක් දීල නිකමට පරික්ෂා කරල බලන්න ඔබට ගැළපෙන ආකාරයේ රැකියා ඇබෑර්තු ඔවුන්ගේ සමගමේ තිබෙනවාද කියල. නැති උනා කියල පසු බසින්න එපා. ඔවුන්ගෙන් වැඩි විස්තර විමසන්න. ඔවුන් බලාපොරොත්තු වන්නේ කොහොම අයවද, මොන වගේ සුදුසුකම් තිබෙන අයද වගේ දේවල්. ඒත් එක්කම අහන්න ඔබේ Resume/CV එකක් එවන්නද කියල. ඔහුගේ / ඇයගේ ඊ මේල් ලිපිනය එහෙම ඉල්ලගන්න. ඔහු / ඇය එකඟ උනොත් දුරකතනයේ ගත කළ කාලයට, ලබා දුන් විස්තර වලට ස්තුතිවන්ත වන ගමන් ඔබගේ resume/CV එකක් යවන්න. එතකොට අනාගතයේදී හෝ ඇබෑර්තුවක් ලැබුනොත් ඔබට කතා කරන්නට ඉඩ තිබෙනවා. ඔබේ යම් වටිනාකමක් හෝ තිබෙන බව ඔවුන් දැක්කොත් ඔබගේ resume/CV එක ඔවුන් ෆයිල් කරල තියා ගනීවි.


මට්ටමෙන් ටිකක් පහත රැකියා උනත් විමසල බලන්න. මොකද ඔබට සුදුසුකම් හා පළපුරුද්ද දියුණු කර ගැනීමට ඒක අවස්ථාවක් වෙන්න පුළුවන්. නැතිනම් ඔවුන්ගේ සමාගමේ පුහුණු වැඩසටහන් එහෙම තිබෙනවා නම් ඒවත් වටිනවා. 
හැම දුරකතන ඇමතුමකටම පස්සෙ ඒ ඇමතුමෙන් ලබා ගත්තු විස්තර හා ඔවුන් ඔබගෙන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සකසා ගන්න. ඊලඟ ඇමතුමට වඩා සැලසුම් සහගතව හා ව්‍යක්ථ ලෙස පිළිතුරු දෙන්න සූදානම් වෙන්න. සමහර විට ඒ දුරකතන ඇමතුමක් ඔබගේ මූලික සම්මුඛ පරීක්ෂණයක් වෙන්න උනත් ඉඩ තිබෙනවා. ඉතින් හොඳින් සූදානම් වෙලා කතා කරන එක ඉතාම වටිනව. 
හැකියාවක් තිබෙන අවස්ථාවක, කාලයක් වෙන් කරගෙන හෝ නොගෙන, සමාගමක අදාල පුද්ගලයෙකු ගිහිල්ල මුණ ගැහෙන්න (HR Manager). මොකද දුරකතනයෙන් කතා කරල resume එකකින් කෙනෙක්ව රැකියාවකට ගන්න හිතනවට වඩා ඔවුන් හිතන්නෙ කෙලින්ම මනුස්සයෙක් තෝරාගන්න. ඉතින් කෙලින්ම ගිහිල්ල මුණ ගැහිල කතා කරන එක ඉතාම බලවත් වෙන්න ඉඩ තිබෙනව. රැකියා අවස්ථා ගැන විස්තර දැනගන්න ආවෙ කියන්න. Resume එකක් අරගෙන යන්න අමතක කරන්න එපා. ඔහුට / ඇයට ඔබ හොඳ Personal Impression එකක් ලබා දුන්නා නම් ඔබ ඔබේ වැඩේ හරියට කරල තියෙනව. සමහර විට එතන ඇබෑර්තුවක් තිබිල ඒක ඔබේ සුදුසුකම් වලට නොගැළපෙන්න උනත් ඉඩ තිබෙනව. නමුත් ඔබ, ඔබ ගැන හොඳ හැඟීමක් ඔහුගේ හිතට දුන්න නම් ඔබට රැකියාව ලැබෙන්න උනත් ඉඩ තිබෙනව. මොකද හැම වෙලේම රැකියාව ලැබෙන්නෙ සුදුසුම කෙනාට නෙමෙයි, සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන කෙනා කැමති කෙනාටයි. 
එහෙම රැකියාවක් ලැබුණෙ නැතත් දුක් වෙන්න එපා. ඔබ කෙනෙක් හඳුනා ගත්ත. ඒක අඩුවට තකන්න එපා. ඒ පුද්ගලයා එක්ක ඔබ හොඳ සබදතාවයක් ඇති කර ගත්ත නම් ඔහුට ලැබෙන වෙනත් රැකියා ගැන විස්තර උනත් ඔබට ලබා දෙන්න ඔහු පැකිළෙන්නෙ නෑ. 

ඊලඟට කතා කරමු අපි, කොහොමද ඔයාගෙ මානසිකත්වය සකසා ගන්නේ කියල.

මේ ලිපි ලියන මම,
ඉංජිනේරු මාධව හබරකඩ (AMIESL, BSc. Eng (Hons), Green SL® AP)
http://www.madhawa.lk

No comments