Header Ads

මිරිඟුව


හිත නොදුන් ගමනක ඇරඹුමක්
හමුවීමෙ නැහැ සුවිශේෂයක්
මතකයේ ඇත එක වචනයක්
සමුදී නුදුන් එය සිහිනයක්

ගතවී ඇතත් තව දිගු කලක්
මුණ ගැසුණි ඔහු තව එක් වරක්
හැඟේ නොපසන් හුරු බවක්
ඔහු අබියසදි මා ගොලු කතක්

තේරීම ඔහුගේ අහඹුවක්
පසුපස ගියත් නෑ අරමුණක්
දෑස් ගැටුනේ නොදැන මං
නමුත් නැහැ සුවිශේෂයක්

ඉතිරි කර එක මතකයක්
අදටත් ගෙනෙන මට සැනසුමක්
සමුදුන් නමුත් ඒ මොහොතටත්
තවම නොදැනේ ලෙන්ගතු බවක්

තව දිගු කලක් ගත වූ පසුත්
ඔහු සොයා ආවේ කවුද යත්
මා හද සැලෙයි එය නොදැන මුත්
දැක නොදුටු හැඩ කවදාකවත්

මා යකඩ සිත දැන් දැන් සැලෙයි
ඒ රුව ඇදෙන තැන දෑස් නවතියි
ඔහු නුදුටු රැය නිදි වර්ජිතයි
තැබූ මතකය අවදි වෙයි

තව දිනෙක ඒ රුව දිලෙයි
මා දෑස අබියස රන් කඳයි
කීවෙ කිමදැයි අමතකයි
ඒ හඬට මා කන් අවනතයි

සිටින විට මා කෙලිලොලින්
පියමැන්නෙ ඔහු මා පසු පසින්
ඈත දුටුවත් නොදුටු සෙන්
විඳ ගත්තෙ මා ඔබෙ ගමනෙ සන්

සිටියෙ පෙන්වන අදිටනින්
මා වෙනස ඔබෙ තෙද නිසාවෙන්
බිඳුණු සිත ඔබෙ පමාවෙන්
ගත්තෙ විඳ මැදිහත් සිතින්

හමුවුණා ඔබ නොසිතු මොහොතක
පෑරුණා ඒ හදා ගත් සිත
වෙනස් වී නැත ඔබේ තේජස
ඉහිරුණා කඳුලැල් මගේ වත

නොදැක රුව ඒ දිනපතා
නොදැනෙයි තබන පියවර පවා
අහඹු දසුනක සැඟවිලා
දුන් ඉඟිය මා අඩපණ කළා

පැය දවස් සති ගණන් ගෙවුණා
ඈත සිට ඔබෙ මුහුණ පෙනුණා
දෑස් අබියස බොඳවු රුවක මා
අසම සම වූ රුවක් මැවුණා

සැලෙන්නේ මගෙ හදවතයි
දෑස ඔහුගේ නිශ්චලයි
මගෙ පියා මෙන් ඔහු සංවරයි
මා පතන්නේ ඔහු ඒ නිසයි

තව දිනෙක පියගැට පෙලේ
ඔහු පසු කලේ මා නොදැක සේ
පසුව මා සනසනු ලෙසේ
සිටියෙ ඔහු රජු වැඩිය සේ

නැවත මා එහි ආ ගමන්
ඔහු යහළුවන් හා කෙළිලොලින්
මා ඔහුට නොපෙනී සැඟවුණෙන්
කොහිද මා ඔහු විමසුමෙන්

ඒ දුටුව ඔහු අවසන් වරයි
දැනට මතකය අහවරයි
දුටුවහොත් පණ ආදරෙයි
ලියන්නට යලි අවසරයි

නොදැන මුත් ඔහු තතු හුඟක්
ඇත්ද ඔහු සිත වෙන ළඳක්
මා පැතුම වීමට පතිනියක්
ඉඩ තබමි දෛවෙට විසඳුමක්

ලදිමි ඇසිල්ලක් සෙවුමට ඔහු තතු බිඳක්
සිතිණි දෙවරක් සිතුමට නැතත් ඔහු වරදක්
දැනුණි ජන ගඟක් පසු කරන බව පමණක්
සිත්වීමි සැකයක් මා ඔහුට පෙම් කළ බවක්


- දිනූෂා චතුරංගි සෙනරත් - 
රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු අංශය ( '16 කණ්ඩායම )

No comments