"මාලක අද මාත් එක්ක තරහා වෙලා"
“මාලක අද මාත් එක්ක තරහා වෙලා” මං මංජරී ට එහෙම කිවාම
“අද ????ඕක අද නෙවේ අදත් වෙන්න ඕන....කවද්ද කියන්නකෝ තරහ නොවී හිටියේ .....”මංජරී මට චාටර් එකට වගේ එහෙම කියලා හිනා වෙනවා...
“ඉතින් අනේ.....මට එයාගෙ වැඩ වලට තරහ යනවනේ..එයාගේ හෙන ඔළුව..මට පේන්න බෑ වෙලාවකට....”
“එහෙනම් මොන එහෙකටද තවත් message කරන්නේ ????ඒ මනුස්සයට එයාගේ පාඩුවේ කෙල්ලෙක් හොයාගන්න දෙනවකො .....”
“එහෙම කරන්න බෑ.....”
“ඒ මොකද ???එයාට කැමතිත් නෑලු...හැබැයි කෙල්ලෙක් හොයා ගන්න දෙන්නත් බෑලු..මොන විකාරයක්ද මේක.....” මංජරී එහෙම කිව්වේ තරහෙන් වගේ.....
“මට ඉරිසියයි අප්පා .....මට එයාව මගේ කර ගන්න කොහොමටවත් ඕනා නෑ....ඒ උනාට වෙන කෙනෙක්ගේ වෙන එකත් අවුල්.....”
“අපෝ තමුසේ නම්......ඒ කොල්ලා පව් හලෝ....සිරාවටම පව්.....”
මංජරී එහෙම කිව්වම නම් මගෙ හිතටත් නිකන් මොකක්ද මොකක්ද වගේ....මං කරන්නේ වැරැද්දක් කියලා මං දන්නවා උනාට ඒක නවත්ත ගන්න මටම බෑ...මාලක මගේ හොදම යාලුවෙක් කියන්නත් බෑ..එයා කවදාවත් class එකේදී මා එක්ක කතා කරලා නෑ..අඩුම තරමේ මගෙ මුණවත් බලන්නේ නෑ...මං කියලා කෙනෙක් එතන නැති ගානට අනිත් හැමෝම එක්ක හොදට කතා කරනවා..ඒත් මා එක්ක නෑ....ඒ වෙලාවට නම් මට මාරම අවුල් ඉතින්...අඩුම තරමේ හිනාවත් වෙනවා නම්....
ඒ උනාට message කරන්නේ නම් මගේ කොල්ලා වගේ...කෑවද ,බීවද,උන්නද,මළාද කියලා හැම වෙලේම හොයනවා...ලෙඩක් උනාම බෙහෙත් බොන්න කියලා මල වදේ...අන්තිමට ඔයා මගේ කව්ද කියලා සුපුරුදු ප්‍රශ්නේ මං අහලා අපි දෙන්නා තරහා වෙලා තමා කථාව ඉවර වෙන්නේ..කොහොමත් අපි දෙන්නා හොදින් ඉන්නවට වඩා වැඩිපුරම ඉන්නේ තරහා වෙලා...කොහොමත් දවසකට පස් හය පාරක් විතර නම් තරහා වෙනවා...එයත් එක්ක රණ්ඩුවක් දා ගත්තේ නැති දවසට මට නිකන් කෑවේ නෑ වගේ...අනේ මන්දා... “Complicated relationship” මගේ යාළුවො ඒකට කියන්නේ එහෙමයි...
හැමදාම class ගියාම මං ඉස්සෙල්ලම කරන්නේ මාලක ඇවිත් ඉන්නවද බලන එක..එයා පේන්න නැත්තම් කරන්නේ message එකක් දාලා එන්නැද්ද අහන එක...හැබැයි කවම කවදාවත් මං නාවට එයා නම් එහෙම අහන්නෑ...අවුරුදු ගානක් ආශ්‍රේ කරලත් මට තාමත් බෑ මාලකව තේරුම් ගන්න...එයාගේ පණ්ඩිතකමයි,ඕනෑවට වඩා social වෙන්න වෙන්න ගිහින් පච වෙන එකයි මට නම් පේන්නම බෑ...ඒ හින්දමයි මං එයාට කැමති නැත්තේ...ඒ උනාට අනේ මන්දා මොකක් හින්දද කියලා මං එයත් එක්ක සෑහෙන්න message නම් කරනවා..මගේ යාලුවන්ට නොකියන දේවල් පවා එයාට කියනවා...අර යාලුවෙක්ට වඩා වැඩි හැබැයි boyfriend ට වඩා ටිකක් අඩු තැනක් එයාට මගේ හිතේ තියෙන්නේ..මටම වෙලාවකට තේරෙන්නේ නෑ ඒ ඇයිද කියලා..
එයාගේ හිතේ මං ගැන තියෙන්නේ මොන විදියේ හැගීමක්ද කියලා කියන්න මං දන්නෙත් නෑ..එයා වෙලාවකට මාව ගනන් ගන්නෙම නෑ..වෙලාවකට ඕනාවට වඩා ගනන් ගන්නවා..වෙලාවකට ගොඩාක් දැනෙන තරමට ලං වෙනවා...වෙලාවකට උන්නද මළාද කියලා වත් බලන්නෑ...එයාගේ මේ අසාමාන්‍ය හැසිරීමත් එක්ක එයා මං ගැන ඇත්තටම හිතනවද කියලා මටත් වෙලාවකට ලොකු ප්‍රශ්ණයක්...එයාගෙ හිතේ මං ගැන තියෙනවා නම් එහෙම කරන්න බැහැනේ එයාට...කොහොම උනත් ලෝකේ ඉන්න තේරුම් ගන්න අමාරුම ජාතිය පිරිමි කියලා නම් මං හොදට තේරුම් ගත්තේ මාලකගෙන්...ඒකත් ලොකු දෙයක්නේ ඉතින්...
“මොකද කරන්නේ??”
“ntg ”
“hm”
“hm”
අපි දෙන්නා message කරන විදියෙන් කියන්න පුළුවන් තරහා වෙලාද නැද්ද කියලා..hm,ntg,k එව්වොත් මාත් එක්ක අවුලෙන්...hmm එව්වොත් එච්චරම අවුලක් නෑ...hmmmmm එව්වොත් අවුලක් ඇත්තෙම නෑ...වෙලාවකට මටම හිනා...එයාට මාත් එක්ක තරහ යන්නේ කිසිම සාදාරණ හේතුවක් නැතුව...එහෙම වෙලාවට මාත් කරන්නේ එයාව ගණන් ගන්නැතුව ඉන්න එක...හිතට ටිකක් විතර අවුල් උනාට මොකද මං කොහොමද එයාට 2nd වෙන්නේ????
“තරහද මැට්ටි....”
“ඔව්”
“hmmmmmmm”
“මං කෙනෙක් හොයා ගන්න කම් ඔයා මාත් එක්ක ඉන්න ...”
“ඉතින් ඔයා කෙනෙක් හොයා ගත්තම මං තනි වෙනවනේ ”
“ඒ කොහොමද ????මං message කරන එක නතර කරන්නේ නෑනේ...”
“අපෝ මට බෑ එක එක කෙල්ලන්ගෙන් ගුටි කන්න ...”
“hehe ”
මේ කපේදී එයා කෙල්ලෙක් හොයා ගන්නේ නම් නෑ කියලා මං හොදටම දන්නවා...එහෙම හිතද්දී නම් මට ටිකක් අවුල් එක්ක...මං හින්දද ඒ කියලත් හිතෙනවා...ඒත් ඉතින් එයාට මං කව්රුවත් හොයා ගන්න එපා කියලත් නෑනේ...අනේ මන්දා ..හැබැයි ඉතින් එයා කෙල්ලෙක් හොයා ගන්නවා කිවමත් මට මාරම අවුල්....ප්‍රශ්න ගොඩයි....එකෙන් මට තේරෙන්නේ නම් එක දෙයයි...මං මහම මහ ආත්මාර්ථකාමී කෙනෙක් කියන එක...බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ...
දැන් ටික දවසක ඉදන් මට එයා නැතුව මාරම පාලුයි වගේ..ඒ හින්දා හේතුවක් ඇතත් නැතත් බොරුවක් හරි කියන් message කරනවා මම...මාලක ඒවාට එපා වෙලා වගේ reply කරනවා...එයාට මාව වදයක් වෙලාද....ඒ වෙලාවට මං මගෙන්ම අහ ගත්තා...ඉස්සෙල්ලට වඩා මාලකගේ ලොකු වෙනසක් මට දැනෙනවා...එයා ඉස්සෙල්ලා මං වගෙම බොරු හේතු හදන් message කරනවා...ඒ උනාට එක පාරටම වගේ දැන් දවසටම එක message එකක් වත් නෑ...එයාට කෙල්ලෙක් වත් සෙට් වෙලාද දන්නේ නෑ...කාගෙන් කියලා අහන්නද ඉතින්...එයාට message එකක් දාලා අහන්නත් මට නිකන් මොකක්ද වගේ...එයාට 2nd වෙන්න මං කැමතිම නෑනේ...Class එකේදී කියලත් මගේ මුණවත් බලනවයෑ...
අහම්බෙන් වගේ මාලකගේ fb wall එකේ තිබුන පෝස්ට් එකක් දැක්කම මං ගොඩක් දේවල් තේරුම් ගත්තා...මට තේරුම් ගන්න බැරි උන ඇත්ත එයා තේරුම් අරන්...
මං ඔයාට ගොඩක් ආදරෙයි
මාත් එහෙම වෙන්නැති
ඒ උනාට ඔයා මං ලගට එන්නේ නෑනේ
මට එන්න බෑනේ
හ්ම්ම්ම්ම්
අපි මේ විදියටම හැමදාම ඉමු
ඉදලා ????
අනේ මන්දා........
සමහර දේවල් අපේම කර ගන්නේ නැතුව ඈතින් තියාගෙන ඉන්න තරමට අපිට හැමදාමත් ඒවට ආදරේ කරන්න පුළුවන්..හිතේ කොනක පොඩි දුකක් ඉතුරු උනත් ඈතින් හරි ඉදගෙන ආදරේ කරන්න පුළුවන් එකත් ලොකු දෙයක්නේ සදහටම නැති කර ගන්නවට වඩා....
මෙම කෙටිකතාව ලියන ලද්දේ මොරටුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබන චේතනා සොයුරිය විසිනී.
Post a Comment