Header Ads

Job එකක් හොයාගන්නෙ කොහොමද? - 1 (සුදුසුකම් ගොඩනඟා ගැනීම)


පෙර ලිපියෙන් අපි මේ නව ලිපි මාලාවට ප්‍රවේශයක් ගත්ත. මේ ලිපි මාලාවේ අන්තර්ගතය කෙසේ වෙයිද යන්නත් ඒකෙදි කිව්ව. ඒක බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහිල්ල ඒක බලන්න.

හරි. මුල්ම කොටස තමයි මේ. 

ඔබගේ සුදුසුකම් ගොඩනඟා ගැනීම. 
ඔබගේ Resume එක යාවත්කාලීන කිරීම. 
ඔබ ගැන කෙටි හැඳින්වීමක් සකස් කර ගැනීම. 
ඔබ ඉගෙනීමට කැමති ඔබගේ රැකියාවට සම්බන්ධ දේ ලැයිස්තුවක් සකසා ගැනීම. 

කොහොමද ඔයාගෙ Resume එක හරියට හදාගන්නෙ?

මේ පිළිබඳව ඉදිරියේදී සවිස්තරාත්මකව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් මේ ගැන ටිකක් සරළව කෙටියෙන් කතා කරමු.


ඔයා රැකියා හොයන්න පටන් ගන්න ඉස්සෙල්ල කරගන්න ඕනෙ දෙයක් තමයි ඔයාගෙ resume එක නැතිනම් Curriculum Vitae එක නිවැරදිව හා යාවත්කාලීනව සම්පූර්ණ වෙලා තියෙන එක. ඔබ ගැන සම්පූර්ණ විස්තර තිබෙන එය ඔබ ගැන පවසන වැදගත්ම තොරතුරු පත්‍රයක්. ඉතින් ඒක හොඳට හදාගන්න පොඩි ඉඟි ටිකක් අපි දෙන්නම්.

සත්‍ය තොරතුරු වලින් එය පුරවන්න. බොරු දාන්න එපා. එහෙම කළොත් අනිවාර්යයෙන්ම ඔබ අමාරුවෙ වැටෙනවා. 
ඔබ සිදු කළ දේවල්, මුල් රැකියාවේදී සිදු කළ ක්‍රියාකාරකම් පවසන විට හැකි තරම් ක්‍රියාකාරී ප්‍රාණවත් වචන භාවිතා කරමින් ඒවා විස්තර කරන්න. 
නිරවද්‍යතාවය පරික්ෂා කරන්න. ඔබගේ resume/CV තුළට ඔබ ඇතුළු කළ තොරතුරු වල නිවැරදි භාවයත්, ඒවායේ වාක්‍ය වල උක්තාඛ්‍යාත, වචන වල අක්ෂර වින්‍යාසයන් ඉතා පරික්ෂාකාරීව පරික්ෂා කර බලන්න. මක් නිසාද යත්, සමහර ඉතාම කුඩා වැරැද්දක් උනත් සමහර අවස්ථා වල ඔබට සම්මුඛ පරීක්ෂණයේදී සෘණාත්මක ලෙස බලපාන්න පුළුවන්. තවත් දෙදෙනෙකුට පමණ පෙන්වා වැරදි පරික්ෂා කරගන්න. 
Resume/CV එක හරියාකාර format එකකින් ඉදිරිපත් කරන්න. ඒකෙ තියෙන දේවල් වගේම ඒකෙ පෙනුමත් හොද වෙන්න ඕනෙ. සරළ පෙනුමක් හා, සුකුරුත්තන් නැති සරල ෆොන්ට් භාවිත කරන්න. (Arial, Times, Cambria වැනි) සුදු කඩදාසිය මත කලු වර්ණයෙන් මුද්‍රණය කරගන්න. කියවන්න පහසු වෙන තරම් line spacing, margins භාවිතා කරන්න. අදාල කොටස් වෙන් කර පෙන්වන්නට Bold හා Italic ආකාර භාවිතා කරන්න. වැදගත්ම දෙයක් තමයි ඔයාගෙ නම සහ සම්බන්ධ කරගත හැකි ආකාර පිළිබඳව විස්තර ඉතා පැහැදිලි හා පහසුවෙන්ම දැක ගත හැකි අයුරින් පෙන්වන්න. 

ඔබ ගැන කෙටි හැඳින්වීමත් මෙතරම් වැදගත් ඇයි?

සාමාන්‍යයෙන් සැලසුම් සහගත සම්මුඛ පරීක්ෂණ (විශාල සමාගම් වලින් එහෙම කරන) වලදී ඔබගෙන් අහන මුල්ම ප්‍රශ්නය තමයි "ඔබ ගැන අපිට යමක් පවසන්න" කියන එක. මේ කියන්නෙ ඔයා ඉපදුනු දවස ඉඳල ඔයා ගැන කියන්න කියල නෙමෙයි. අර පොඩි කාලෙ කළ My self රචනාව නෙමෙයි මේ. මේක ගොඩක් අය වරද්දගන්නව. එහෙම ඉපදුනු හැටියි ගෙදර විස්තරයි ඔක්කොම කියන අය මම දැකල තිබෙනවා. ඒ අයට නම් ජොබ් එක හම්බ වෙයිද කියල නම් මම දන්නෙ නෑ. 


එතකොට අපි මොනවද ඒ වෙලාවට කියන්න ඕනෙ??

මේකට ඕනෙ වෙන්නෙ මිනිත්තු 3-5ක් වගේ පොඩි කාලයක්. ඔයාගෙ පසුබිම කොහොමද, ඔයා මොනවද කරන්න කැමති (විනෝදාංශ නෙමෙයි, වෘත්තීයමය වශයෙන්), ඔයා ලබාගත් ජයග්‍රහණ, මුල් රැකියාවක් කළා නම් ඒකෙදි කළ දේවල්, ඔයාගෙ අනාගත බලාපොරොත්තු, වගේ දේවල් හරහා ඔයාගෙ කටහඬ අවධි කර ඔයා ගැන ඔයා හිතන හැටි දැනගන්නයි එයාට ඕනෙ. 

ඉතින්?

මේකට හොඳට ලෑස්ති වෙන්න ඕනෙ. මොකද මේක ඔයාට ඔයා ගැන නිදහසේ කියන්න තිබෙන වටිනා අවස්ථාවක්. ලකුණු ගොඩක් ගන්න පුළුවන් අවස්ථාවක්. කියන්න ඕනෙ දේවල් ටික පිළිවෙළට වරද්දන්නෙ නැතිව කියන්න හොඳට පාඩම් කරගන්න. හැබැයි කටපාඩමෙන් ඉස්කෝලෙදි ගාථ කිව්ව වගේ නෙමෙයි හරිද. සැහැල්ලුවෙන්, නිවැරදිව, පැහැදිලිව කතා කරන්න. පුළුවන් තරම් කෙටි කරන්න. මිනිත්තු 3ක් අවම වශයෙන් ප්‍රමාණවත්. මිනිත්තු 7කට වඩා දික් කරන්න එපා. 

දන්න හඳුනන කෙනෙක් ඉස්සරහ කතා කරන පුරුදු වෙන්න.

මේක තවත් වැදගත් වෙන අවස්ථාවක් තමයි තවත් පිරිසක් හමු වෙලා නව සබඳතා සාදා ගන්නා අවස්ථාවක්. සාදයකදි, රැස්වීමකදි නව කණ්ඩායමක් එක්ක ඔබට කතා කරන්න අවස්ථාවක් ලැබෙනව. නව සබඳතා ගොඩනඟාගන්න. එතකොට එයාලට ඔබ ගැන කියන්න හොඳ අවස්ථාවක්. එතකොට හැබැයි මිනිත්තු කිහිපයක් කතා කරන්න යන්න එපා. තත්පර 30ක් හෝ ඊට කෙටි කාලයකට සීමා කරන්න. 

වෘත්තිය සම්බන්ධ, වෘත්තීය වටිනාකමක් සහිත ඔබ ඉගෙන ගන්නට කැමති දේවල් ලැයිස්තුවක් ඔබ සකස් කරගත යුතුයි.

ඒ මොකටද???

ඔයා සම්මුඛ පරීක්ෂණයට ගියාම පරීක්ෂකයා ඔයාගෙන් අහනව ඉදිරි සැළසුම් කොහොමද, අනාගත බලාපොරොත්තු කොහොමද කියල. මොනවද දෙන උත්තර?

ඔයාව ජොබ් එකට ගන්න සේවා යෝජකයා කැමතියි ඔයා ජොබ් එකෙන් ඉස්සරහට දියුණු වෙන්න සැලසුම් කරගෙන ඉන්නෙ කියල දැනගන්න. අනික එහෙම දියුණු වෙන්න හිතන්නෙ නැති කෙනෙක් වැඩට අරගෙන වැඩකුත් නෑනෙ. 

ඉතින් අන්න ඒ නිසා, ඔයා ඒ ඉල්ලුම් කරපු රැකියාවෙන් ඉස්සරහට යන්න පුළුවන්, ඒ රැකියාව හා සම්බන්ධ වැඩි දැනුමක් ලබාගන්න කරන්න පුළුවන් දේවල් ටිකක් ලැයිස්තුගත කරගෙන යන එක වැදගත් වෙනවා. කියවන්න පුළුවන් යම් පොත් කිහිපයක නම් බලාගන්න, ඉස්සරහට එන්න තිබෙන සම්මන්ත්‍රණ පිළිබඳ හොයල බලන්න, කළ හැකි පාඨමාලා පිළිබඳ සොයා බලන්න,

තවත් ඉස්සෙරහට ඉගෙනගෙන තවත් දියුණු වෙන්න කැමති අයට රැකියා දෙන්න කවුරුත් කැමතියි.

සාමාන්‍යයෙන් හැම රැකියාවකටම වගේ ඕනෙ වෙන හැකියාවන් කිහිපයක් මම කියන්නම්.

තාර්කික චින්තනය හා තොරතුරු එකලස් කිරීමේ හැකියාව.

හුඟක් රැකියා වලදි තොරතුරු විශාල ප්‍රමාණයක් එක්ක වැඩ කරන්න අවස්ථා තිබෙන්න පුළුවන්. ඉතින් ඒවා පිළිවෙලකට සකසල නිවැරදි අවසන් නිගමන ලබා දීම ඉතා වැදගත් වෙන්න ඉඩ තිබෙනවා.

තාක්ෂණික හැකියාවන්.

තාක්ෂණය නම් දැන් නැතිවම බැරි දෙයක් වෙලානෙ. ඔබට පුළුවන් වෙන්න ඕනෙ සාමාන්‍ය පරිගණක දැනුමක් සහිතව පරිගණකයකින් සිදුකර ගන්න ඕනෙ වෙන මූලික කටයුතු සිදු කරගන්න. ඒත් එක්කම scanner එකක්, ඡායා පිටපත් යන්ත්‍රයක් වගේ අදාල රැකියාව හා සබැඳී තිබෙන යම් තාක්ෂණික වැඩ කටයුතු තනිව සිදුකරගන්න. මේකෙන් කියවෙන්නෙ නෑ ඔබ තාක්ෂණික විෂයන් හදාල පුද්ගලයෙක් වෙන්න ඕනෙ කියල. මූලික දැනුම පමණයි අවශ්‍ය.

හොඳ සන්නිවේදන හැකියාවක්.

සේවා දායකයෙක්, සේවකයෙකුගෙන් බලාපොරොත්තු වන විශේෂම දෙයක් තමයි හොඳ සන්නිවේදන හැකියාවක්. තමන්ට කියන්න ඕනෙ දේ නිවැරදිව හා හරාත්මකව, වාචිකව හෝ ලිඛිතව පැවසීමට හැකි වීම ඉතාම වටිනා හැකියාවක්. ඒ හැකියාව හොඳින් තිබෙන අයට පහසුවෙන් රැකියාවක් හොයාගන්න පුළුවන්. මේ කාලයේදී නම් මේක වඩාත්ම අදාල වෙනවා ඉංග්‍රීසි භාෂා දැනුමට. වාචික හා ලිඛිත දෙකම.

හොඳ අන්තර්පුද්ගල සබඳතා.

රැකියාවක් කිව්වම තනියම ඉඳන් කරන දෙයක් නෙමෙයි. විවිධාකාරයේ පුද්ගලයින් එක්ක විවිධාකාරයේ දේවල් ඔබට සිදු කරන්න වෙනවා. ඉතින් සාර්ථක අන්තර්පුද්ගල සබඳතා ඇති කරගැනීම හා ඒවා පවත්වා ගැනීම ඉතාම වැදගත් සාධකයක් වෙනව, රැකියාවේ සාර්ථකත්වයට. 

ඊලඟ ලිපියෙන් කතා කරමු සූදානම් වන ආකාරය ගැන.

මේ ලිපි ලියන මම,
ඉංජිනේරු මාධව හබරකඩ (AMIESL, BSc. Eng (Hons), Green SL® AP)
http://www.madhawa.lk

No comments