සරසවි ආලේ
තෙවසරකි…
අතින්වත් නොඅල්ලා
හිතින් බැඳි ප්‍රේමය
ඉදින් අංකුර මතින්
මහ ගහක් වන්නට,
ගත වුණේ තෙවසරකි…
අකුරු ඉලක්කම්
මත ශිල්ප දැක් වූ
ජීවිතේ මලපොතේ
අකුර වත් නොදන්නා
බොලඳ හිතකට
අකුරු අඩුවක් නොකරම,
කියා දී ජීවිතය
මදිපාඩුවට
ආදරය ද මුසුකොට…
ලියන්නට පෙම් කතාවක,
තවත් එක්
පරිච්ඡේදයක්
සිනහවෙන්, කඳුලින්
මතු නොවන සුසුමින්
අත්පොත් තබා
තෙවසරකි…
සැඳෑ රත් අහස් කුස
ගිලී යන හිරු සේ ම
උදා හිරු එලිය දැක
ගිලී යන පිණි පබළු
අරුණ කැන් දහර වුව
හැඩ දැමූ,
තණ පියලි මත වැටුණු
රොබරෝසියා පොහොට්ටු
මුමුණමින් ගී පද,
සවනත නොව
සිත ලඟ…
ලියන්නට කියා දුන්
රසබර ම රහසට
දැන් ඉතින්,
තෙවසරකි…
හිතවත,
මම අසමි…
නුහුරු නුපුරුදු
දෑත් යුග ගෙන
පුරුදු සෙනෙහෙන්
මා වැලඳගෙන
කියාදුන්
ජීවිත කතාව ම
කියා දෙන්නට හැකි ද
යම් දිනක,
මගෙන් මතු
නුඹ සොයාගෙන එන
මගේ ලෙයින් උපන්
තවත් පරපුරක් වෙත…
මක් නිසා ද යත්,
නුඹ නිසාවෙන් ම
උගත් හෙයින්
ආදරය ඇත්තේ
විඳගන්නට ම මිස
ලෝබයෙන්
ගුලි කොට අත මිටට
හප කොට
විසි කරන්නට නොවන වග…
- නයනතරා හේන්දෙණිය -
ද්‍රව්‍ය විද්‍යා සහ ඉංජිනේරු අංශය ( '15 කණ්ඩායම )
Post a Comment