Header Ads

පොතක මහිම


පොතක තියෙන්නෙ මනුස්සයෙක්ගේ හිතේ ඇතිවුණු අදහසක්. ඒක ඇත්තම අත්දැකීමක් වුණත් ප්‍රබන්ධයක් වුණත් ඒකෙ අයිතිකාරයෝ අපි නෙමෙයි. හැබැයි මේක අපි කියවද්දි අපේ හිත ඇතුලෙත් මේ කතාව ගොඩනැඟෙන්න පටන් ගන්නවා. අපිට ඒ චරිත ඇත්තම චරිත වෙනවා. සැබෑ ලෝකෙදි හම්බ නොවුණු චරිත පොතක් කියවද්දි අපිට මුණගැහෙනවා. අපි අපේම හිත ඇතුලෙ එයාලත් එක්ක ගනුදෙනු කරනවා. ඉතින් ඇත්ත ජීවිතේ අපිට හම්බෙන මිනිස්සු වගේම මේ අයත් අපේ හිතන පතන විදිහට බලපෑම් කරනවා. ඒ හරහා එකම සිදුවීමක් දිහා විවිධ කෝණ වලින් බලන්න පුළුවන් කියල අපි ඉගෙන ගන්නවා. 
පොතේ ලේඛකයා අපි නෙමෙයි නම් අපිට අලුත් පොඩි දෙයක් හරි ඒ පොතේ අනිවාර්යෙන්ම තියෙනවා. එකම විදිහට හිතන මිනිස්සු කවුරුවත් මේ ලෝකෙ නැහැ. "වෙනස් විදිහට හිතන්න" කියන එක අමුතුවෙන් කරන්න ඕනේ දෙයක් නෙමෙයි. ස්වභාවිකවම අපිට තියෙන්නෙ අපිටම අනන්‍ය වුණු "හිතන විදිහක්". ඉතින් පොතක් හරහා වෙන්නෙ ඔය වගේ දෙන්නෙක් අතර සිතුවිලි හුවමාරු වීමක්. 

අපි හිතන විදිහ කියන්නෙ අපි ජීවත් වෙන විදිහ. පොත් කියවීම අපේ හිතන විදිහ අලුත් කරන හින්ද එතන ඉඳන් ඒ මනුස්සයත් අලුත් වෙනවා. පොත් වලින් කරන්නෙ සම්පූර්ණයි කියල හිතන් ඉන්න මිනිස්සුන්ට ජීවිතේ අසම්පූර්ණ තැන් පෙන්නල දෙන එක. පොත්පත් කියවන කෙනා තමන්ගෙ අඩුපාඩු තියෙනව කියල දන්න කෙනෙක්. ඒ වගේම අනිත් මිනිස්සුන්ගෙ අඩුපාඩු පිළිගන්න කෙනෙක්. පොතක් කියවද්දි ලේඛකයා ලියල නැති දේවල් තේරුම් ගන්න මහන්සි වෙනව වගේ සැබෑ ජීවිතේදිත් මිනිස්සු අපිට කියන්නෙ නැති කතා තේරුම් ගන්න උත්සහ කරනව නම් අපේ සමාජය මීට වඩා ගොඩක් ලස්සන වේවි.

Gayantha A. Kumarasiri
Faculty of Engineering
16' Batch


No comments