Header Ads

වැසිදා මතක


කඨෝර අව්වට පස්සේ වහින වැස්සේ මහා අමූතූ සුවඳවක් තියෙනවා. ඒ වැස්සේ වෙනදට වැඩි සීතලක් එක්කම කොහේදෝ හැංගිච්ච නොතේරෙණ රස්නෙකුත් තියෙනවා. ඒ හීතල අපිට කවදාවත් මුණනොගැහුණ අපේ හිතේ හැංගිලා තිබුණු හීන අතරට අපිව එකපාරටම කොහේදෝ ඉඳලා ඇදලා දානවා. ඒ රස්නේ අපිව වැස්සත් එක්ක බැඳුනු ඒ අපි හැමදාම ආදරය කරන මතකයන් අතරට ඇද ගෙන යනවා.

සමහරු ආසයි එහෙම වැස්සක කුඩයක් යටින් හෙමීට් හෙමීට ඇවිදන් යන්න. මට නම් ජීවීතේට ඒකට හිත යන්නේ නෑ. මට ඒ කුඩේ යට තියෙන ඒ මහ තනිකම, වටෙන් එන හිරිකඩ හුළංපොද ඇඟේ වැදිලා ඇවිස්සෙන හීතල මට වැස්සත් එක්ක එපා කරවන හෙනම අප්‍රියජනක හැඟීමක්. ඒ උනාට මං ආසයි මහ වැස්සක තෙමි තෙමි දුවලා දුවලා යන්න. නිකම්ම නෙවෙයි කුඩේ අමතක උන මං වගේම පියාඹන යාලුවෝ ටික එක්ක තරඟෙට දුවන්න.
වැස්ස අවුස්සන්නේ මහා අතීතකාමයක්. වැස්ස ඒ ගේන මතකයන් ටික හැමදාම ජිවීතේට ලබැඳිම ඒවා වෙන්නේ පුදුමාකාර විදිහට. 

පංති ඉවර උනාම වැස්ස පායනකන් ඉන්නේ නැතුව කඩිමුඩියේ යාලුවෝ එක්ක බයිසිකලේ පැදගෙන ගෙදර ගියපු ඒ අතීතය, මඩ් ගාර්ඩ් එකක කියලා නාමයක් නොතිබුනු ඒ බයිසිකලේ නිසා ඔලුව ඉඳන් මඩ නාපු ඒ අතීතය, ගෙදර වහලේ උළු අතරින් වතුර වැටෙනකොට තෙමෙන තැන් වලට බේසම් තියලා ඒ වතුර බිංදු වැටිලා ඒ මවන තාලවලට කන්දීගෙන හිටිය ඒ අතීතය, වහින දවස් වලට අම්ම තාත්ත මල්ලී එක්ක ඇඳේ ඉඳන් කතා අහගෙන හිටිය ඒ සුවඳ මුසුවුණ අතීතය, හැමදාම වැස්සත් එක්ක ආදරෙන් මතක් වෙන්නේ පුදුමාකාර විදිහට.

වැස්ස මහා මායාවක් හංගගත්ත සොබා දහමේ පුදුම නිර්මාණයක් කියලා හිතේනේ ඒකමයි. නැවක් ගෑවුණු කතාවක කුණාටුවක් නැති වෙන්නෙ නැත්තේ කතාව හරියටම පටන් ගන්නේ ඒ කුණාටුවෙන් නිසා. කිසිම සද්දයක් නැති නිහඬතාවක් තියෙද්දී කුණාටුවක් මඟ එන බව ඒ අයට දැනෙන්නේ පලපුරුද්දෙන්මයි. අන්න ඒකයි අපි උනත් ඕනවට වඩා වැඩි නිහඬතාවයට, නිසංසල බවට බය. ඊට පස්සේ වහින වැස්ස කුණාටුවක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි වගේම, ඊට පස්සේ එන්නේ හුස්මක් කටක් ගනන්වත් වෙලාවක් ඉතිරි නොකරන කුණාටු පෝලිමක් වෙන්නේ පුදුමාකාර විදිහට...

උදා ඉරකත් සිසිලස දැනෙනවා
පුර සඳෙත් රශ්මිය දිලෙනවා
මද පවනෙත් කාන්සිය දැනෙනවා
මොරටු අහසෙත් මහ වැහි වහිනවා... ❤️

කුලුණු චක්ෂණ වීරසූරිය
18-Efac

No comments