මිනින්දෝරු පෙම
මහා බසයක පැමිණ
පැන්නා කැළයට සබඳ
ඒ කොමල සුකොමල ළඳ
පිරිස සමඟම,
ගස් වැල් ගල් ගැන
සොයනු පිණිසම...
ඇවිද ඒ ඉදිරියට
තබයි පා හෙමිහිට
තණ පතක අග හිඳ
මා ද පැන්නෙමි ඇගේ කකුලට
ගොරහැඬි පාද වෙනුවට
ළකල් සියුමැලි පාද මනිනට
ජීවිතේ මුල් වරට...
ඇවිද නැති මේ කැළේ
කිසිදින සියුමැලි ළදක්
ඇවිද්දෙමි බෝ රිසින්
ඇගෙ ගතේ මද දුරක්
බීවෙමි මුල් වරට
සියුමැලි ලේ පොදක්...
නොදනිමි
අහස ගිගිරුවේ ද
ලොවම විනාශ වී ද
අහෝ ! විපතක මහත
රත් දෙතොල් අතරින්
පිටවන කටහඬ
මෙතරම්ම බියකරුද ..?
ඈ දුවයි උඩපනියි
කඳුළු වැල් බිම හැලෙයි
හැමදේම ඉවසුවත්
විලාපය හද දවයි...
කිසිදිනක නොකළ ඒ
අමුතු මිනින්දෝරු කම්
කුමට කරනෙමි මං ..
බැස යමි සිඹ සිඹ
ඇගෙ පතුල්
නැවත නො නගින්නට
සුමුදු මුදු පාදයකට
මෙවන්...
- චූලා -
Post a Comment