Header Ads

එන්න මල්වානේ යන්න, මේ රඹුටන් කාලයයි


මල්වාන ගැන කියද්දී ලොකු පුංචි වෙනසක් නැතිව හැමකෙනෙකුටම මතක් වෙන දෙයක් තමයි “මල්වානේ පැණි රඹුටන්”. හැම අවුරුද්දකම ජුනි,ජුලි,අගෝස්තු මාසවල නගරයේ පලතුරු තට්ටු මත ඇපල්, දොඩම් පරදමින් කොයි කාගේත් ඉල්ලුමේ ඉදිරියෙන්ම ඉන්න පළතුරක් රඹුටන්.ඇතැම් අය රඹුටන් උෂ්ණාධික පළතුරක් සේ සැලකුවත් එක් වරක් කෑවම ආයේ ආයෙත් කන්න සිතෙන තරම් රසවත් රඹුටන්හි ශ්‍රී ලාංකික නිජබිම මල්වාන යනුවෙන් හැඳින්වීම නිවැරදියි.

අපි මල්වාන ගැන කියද්දී රඹුටන් මතක් කලාට රඹුටන් එක්ක මල්වාන අතර ඇති සම්බන්ධකම ගැන අපි දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා වෙන්න පුළුවන්.රඹුටන් එක්ක මල්වානේ ඉතිහාසය පෘතුගීසි යුගය දක්වාම විහිදෙන බව අපේ පැරණි වැඩිහිටියන් පවසන කතාවක්. මල්වානේ පිහිටි පෘතුගීසි කපිතාන් දොන් ජෙරනිමෝ ද අසවේදු ගේ ( ක්‍රි.ව.1549-1611) මාලිගාවේ නටඹුන් තවමත් අපිට දකින්න පුළුවන්. ක්‍රි.ව.1505 දී ලංකාවට පැමිණි පෘතුගීසි ජාතිකයින් කොළඹ ඔවුන්ගේ බලකොටුව පිහිටුවා ගත්තද කපිතාන්වරයාගේ බලකොටුව එනම් “මල්වාන බලකොටුව”වර්තමානයේ මල්වාන මාපිටිගම ලෙසින් හදුන්වන ප්‍රදේශයේ පිහිටුවාගෙන ඇත.එය අතීතයේදී “රෝසපානි බලකොටුව” ලෙස හැදින්වූ බව පැරණි ගම්වාසීහු පවසති.රඹුටන් වගාව ආරම්භ වූයේ කෙලෙසද යන්න ස්ථිර ලිඛිත සටහන් නොමැතිවුවද ජනප්‍රවාදයට අනුව මැලේසියාව ආදී විදේශීය රට වලින් පෘතුගීසින් විසින් කෑම සඳහා ගෙනෙන ලද රඹුටන් වල ඇට බලකොටුව අවට පැළ වීම නිසා රඹුටන් ශාකය මල්වාන තුල ඇතිවූ බව විශ්වාස කරයි. පසුකාලීනව ස්වභාවික හේතූන් සමග මෙන්ම සතුන්ගේ බලපෑම් මතද රඹුටන් මල්වාන ආශ්‍රිත ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී ඇති අතර වර්තමානයේදී මල්වාන පමණක්ම නොව මල්වාන ආශ්‍රිත වල්ගම, මාපිටිගම, යබරළුව, කළුකොඳයාව, කඳුබොඩ ආදී ගම් වලද රඹුටන් වගාව ගෙවතු වගාවක් මෙන්ම ආර්ථික වගාවක් ලෙසද ව්‍යාප්ත ව ඇත.

නගරයේ පළතුරු තට්ටුව මත රඹුටන් වාරයේදී “රුපියල් සීයට ගෙඩි පහක්,දහයක්,දොළහක් ආදී ලෙස විකිනුණද මීට අවුරුදු කිහිපයකට පෙර රඹුටන් වලින් ලැබූ සැලකිය යුතු ආදායමට සාපේක්ෂව වර්තමානයේ රඹුටන් වගාව පාඩු ලබන බව මල්වානේ ගැමියන් පවසයි.අයහපත් දේශගුණික තත්වය නිසා නිසි කලට නිසි අස්වැන්න නොලැබීමත්, මල්වාන හැරුණු විට රට තුල අවිස්සාවේල්ල, ඇහැලියගොඩ, හංවැල්ල, පාදුක්ක ආදී බොහෝ ප්‍රදේශවල රඹුටන් වගාව සාර්ථකව ව්‍යාප්ත වීමත් නිසා මල්වානේ රඹුටන් සඳහා සරිලන මිලක් නොමැති බව මල්වාන ප්‍රදේශය තුල රඹුටන් වගාවේ යෙදෙන පුද්ගලයින් වැඩි දෙනෙක් පවසන කතාවකි.

ඒ කෙසේ වුවද මල්වානේ රඹුටන් වල රසයේ වෙනසක් ඇති බව රඹුටන් කෑමට ප්‍රිය කරන බොහෝ අය දන්නා දෙයකි.ශ්‍රී ලංකාව තුල රඹුටන් ප්‍රභේද කිහිපයක් ප්‍රමුඛ ලෙස වගා කරනු ලබයි.ඒ අතරින් මල්වාන ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙනුයේ “මල්වාන ස්පෙෂල්, මැලයන් රතු, මැලයන් කහ ” යන වර්ග වේ. එයිනුත් ආර්ථික වශයෙන් මෙන්ම රසයෙනුත් “මල්වාන ස්පෙෂල්” වර්ගය ප්‍රධාන වේ.රසයෙන් මල්වාන ප්‍රදේශයටම ආවේණික වූ “මල්වාන ස්පෙෂල්” රඹුටන් වර්ගය සාමානයෙන් රතු සහ තැඹිලි පැහැයට හුරු අතර පහසුවෙන් ඇටයෙන් මදය වෙන් කර ගත හැකි මෙන්ම ඉතාම පැණි රසයෙන්ද යුක්තය.අපි බොහෝදෙනා මිලදී ගෙන කන්නේ මල්වාන ස්පෙෂල් නම් රඹුටන් වීමට බොහෝදුරට ඉඩ ඇත. මන්ද ගසෙන් වෙන් කර දවස් දෙක තුනක් වුවද මැලවීමක් නොවී එම රඹුටන් වර්ගය තබාගැනීමට හැකි නිසාය.



කඩෙන් රඹුටන් ගනිද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් රඹුටන් ගසකින් ගෙඩියක් කඩාගෙන කන්න ඇත්නම් කියලා. පුංචි දරුවන් පවුල් පිටින් ඇවිත් රඹුටන් කන එක රඹුටන් වාරෙට මල්වාන පැත්තේ දකින්න පුළුවන් සුලබ දසුනක්. උදේ පාන්දරම රඹුටන් වතු සොයා පැමිණෙන වෙළෙන්දන්, වෙළෙන්දියන් ප්‍රදේශය පුරා දැකිය හැකියි. රඹුටන් කාලයට ප්‍රදේශයට ආවේනික වූ උප සංස්කෘතියක් තුල මිනිසුන් අනුගත වන බව පෙනෙන්න තිබෙන විශේෂ කරුණක්. අවුරුද්ද තුල මාස කිහිපයකට වුවද ඒ කාලය මල්වානට වෙනසක් කියලා මට නම් හිතෙන්නේ. පුංචි පුංචි රැකියා අවස්ථා නිර්මාණය වෙනවා වගේම මිනිසුන් අතර සහයෝගයත් යම්තාක් දුරකට හෝ වර්ධනය වීමක් වෙනවා. රාතී‍්‍ර කාලයේ වවුලන්ගෙන් සහ සතුන්ගෙන් රඹුටන් ආරක්ෂා කරගැනීමට මිනිසුන් විවිධ උපක්‍රම යොදයි.

ටක එල්ලීම(රොකඩ), පැල් රැකීම, රතිඥඥා පත්තු කිරීම, ගිනිගොඩවල් ගැසීම,දුම් ගැසීම, භූමිතෙල් පහන් ගස් උඩ එල්ලීම සහ විදුලි බුබුළු දැමීම ආදී දේවල් ඒ අතරින් ප්‍රධානයි. වර්තමානයේදී රේඩියෝවේ ගීතයක් රාත්‍රී කාලයට පැල තුලින් බොහෝ විට ඇසුනත් ඉඳහිටක එගොඩහ වත්තේ පැල් රකින “ජයමොන්ට” ඇසෙන්නට තවමත් සීයලා කවි කියනු ඇසෙන්නේ රාත්‍රියේ ඔවුන්ගේ නිදිමත, වෙහෙස මකාගනු පිණිසය.

අතීතයේ මෙන්ම උස රඹුටන් ගස් නොමැති වුවත් රඹුටන් කැඩීම සැමදෙනාටම කල නොහැකිය. රඹුටන් ගස් අතු කෙළවරටම ගොස් රඹුටන් කැඩීම එක අතකින් අනතුරුදායක ක්‍රියාවක් වුවද ගම තුල ඒ සඳහා පුරුදු අය කිහිපදෙනෙක් සිටියි. ඔවුන් රඹුටන් ගෙඩි දාහක් කැඩීමට සාමාන්‍ය කැඩුම් කුලිය රුපියල් 400-500 ක් අතර මුදලක් අය කරයි. එමෙන්ම රඹුටන් තේරීම, ගණන් කිරීම,රඹුටන් ගෝනි වාහන වලට පැටවීම ආදී පුංචි කාර්යන් තුලින්ද ප්‍රදේශය තුල මිනිසුන් ආදායම් ලබයි. එපමණක්ද නොව රාතී‍්‍ර කාලයේ රඹුටන් පැල් රැකීම නිසා පුංචි පුංචි ඉඳි ආප්ප,මඥඥෝක්කා වැනි කඩයප්පන් තම්බන කඩ ආදී ස්වයං රැකියා අවස්ථාද ඇති වේ. රඹුටන් වාරය ගෙවී ගිය පසු මෙම පුංචි කඩද දක්නට නොමැති වීම නිසා ඒවා රඹුටන් කාලය සමග පුරුද්දක් ලෙස ඇතිවන බව පැහැදිලිය.අද කාලයේ බොහෝ වෙළෙන්ඳන් රඹුටන් පෝර කවර වල ඇසුරුම් කළත් අතීතයේදී පොල් අතු කූඩා වල රඹුටන් අසුරා ඇත. පෝර කවර වල ඇසිරීමට වඩා කුඩා වල ඇසිරීම මගින් පහසුවෙන් මෙන්ම රඹුටන් ගෙඩි වලට කිසිදු හානියක් නැතිව විකිණීමට හැකි බව වෙළෙන්ඳන් කියයි.එහෙත් මල්වාන ප්‍රදේශය තුල අද නම් පොල් අතු කූඩා වියන තැනක් සොයාගැනීම අසීරුය.

රඹුටන් වලින් රසවත් කෑම සදන්නට අපේ අම්මලා හුරුවී ඇත. අපි බොහෝදෙනෙක් තවමත් රස බලා නොමැති වෙන්නට පුළුවන් වුණත් රඹුටන් වලින් හදන “රඹුටන් දෝසි” ඉතාමත් රසවත් කෑමකි. රඹුටන් කාලෙට නම් මල්වාන ප්‍රදේශයේ ගොඩක් කඩවල ඉදිරිපස ජෑම් බෝතල් වල දමා විකුණන්න තබා තිබෙන “රඹුටන් දෝසි” එක් වරක් හෝ කෑමට ආසා හිතෙන හරිම රසවත් කෑමකි. බොහෝදෙනා මල්වාන ස්පෙෂල් රඹුටන් සොයා මල්වානට ආවද රසවත් රඹුටන් දෝසි සෑදීමට අපේ ආච්චිලා අම්මලා යොදාගන්නේ ඇඹුල් රඹුටන්. එහෙමත් නැත්නම් ගමේ භාෂාවෙන් නම් වල් රඹුටන් වේ.



රඹුටන් වාරය ආරම්භයේදීම සාමානයෙන් රුපියල් 10ක් වැනි මිලකට රඹුටන් ගැනුම් මිල සඳහන් වුවද ප්‍රදේශය පුරා රඹුටන් ඉදීම සමග මිල ක්‍රමයෙන් රුපියල් 4 -5 දක්වා පහල බසී.සාමාන්‍යයෙන් රඹුටන් ඵලදාව ලබන්නේ ජුනී මාසයේදී වුවත් ආර්ථික වශයෙන් රඹුටන් වගා කරන්නන් අවුරුද්ද පුරාම රඹුටන් ශාකයට සත්කාර කරනු ලබයි. පොහොර දැමීම කරයි. මල් හට ගන්නා කාලය වන දෙසැම්බර් ජනවාරි කාලයේදීත් මල් හැලීම, පසුව පුංචි ගැට හැලීම වැලැක්වීමට පොහොර වර්ග යොදනු ලබයි. එපමණක් නොව රඹුටන් ආශ්‍රිතව හැදෙන කළු පුස්, පිටි මකුණා වැනි රෝග සඳහාද සත්කාර කරනු ලබයි. මෙලෙසින් බලන කල රඹුටන් හා සබැඳි නොපෙනෙන කතා බොහොමයක් ඇත.

රඹුටන් වගාව සමග සබැඳි ආගමික ඇදහිලි හා විශ්වාසද ඇත.වාර්ෂිකව ලබන අස්වැන්නේ මුල්ම කොටසින් ලබන ආදායම දෙවියන් සඳහා වෙන් කරමින් බොහෝ දෙනා කතරගම දෙවියන් සඳහා මෙන්ම පත්තිනි මෑණියන් සඳහා කිරි අම්මාවරුන්ගේ දාන බාර වීම සුලබ දෙයකි. එමෙන්ම තවත් පිරිස් “ගල්ලාගම කුඩා කතරගම පුරාණ දේවාලය” ටද පුරුද්දක් ලෙස බාර වීමට හුරු වී සිටිති. මුලින්ම එකී ආගමික කටයුතු වල යෙදීමෙන් පසුව අස්වැන්න නෙලීමටත් විකිණීමටත් පටන් ගැනීම මල්වාන ප්‍රදේශයේ රඹුටන් කලාවේ සිරිතකි. රඹුටන් නෙලීමේදී ගස් වලින් වැටීම, රාත්‍රී කාලයේදී සර්පයින් දෂ්ට කිරීම වැනි ස්වභාවික හේතූන් මෙන්ම අතීතයේ සිට පැවත එන විශ්වාස මත පදනම්වද ගැමියන් විසින් මෙම පූජාවන් සිදුකරනු ලබයි. රඹුටන් වාරය අවසන් වීමත් සමග කිරි අම්මාවරුන්ගේ දාන, කතරගම දෙවියන් උදෙසා දෙනු ලබන දාන මෙන්ම ගරා යකුන් නැටීම ආදී පූජාවන් බොහෝ ස්ථානවලත් නිවෙස් වලත් දැකිය හැකිය.

රඹුටන් කාලයට මල්වාන ප්‍රදේශය සිටින හිත මිතුරන් සොයාගෙන ගොස් රඹුටන් කෑමට අපි බොහෝ දෙනෙක් ප්‍රිය කරති.එමෙන්ම ඔවුන්ට රඹුටන් ගෙනෙන්න යැයි ඇවිටිලි කරති. පාසලට, කාර්යාලයට, වෙළඳ සැලට අපි රඹුටන් ගෙන්වාගෙන කන්නෙමු. ඒත් රඹුටන් සමග ගොඩනැගුණු සොඳුරු කලාවක් එහෙමත් නැත්නම් සංස්කෘතියක් මල්වාන තුල ගොඩ නැගී ඇත. අතීතය තුල විරාජමානව පැවති ඒ සංස්කෘතිය වර්තමානයේ කෙමෙන් කෙමෙන් මැකී යන යුගයක අපි රඹුටන් ගෙඩියක් කඩෙන් ගෙන රස විඳිනවාට වඩා මල්වාන ප්‍රදේශයට ගොස් රඹුටන් ගෙඩියක් කෑමට යෝජනා කරමි. ආර්ථික වශයෙන් ලාභ ලැබීම පමණක් අරමුණු කර ගත් ඇතැම් රඹුටන් වතු වලට ඇතුළු වීමට අවසර නොමැති විය හැකි වුවද මල්වාන ප්‍රදේශයේ බොහෝ රඹුටන් වතුවල අඩු මිලට රඹුටන් මිලදී ගැනීමටත් සිත් සේ කා රස විඳීමටත් හැකි බව අත්දැකීමෙන් සටහන් කරමි.


බී.ඉෂාරා ලක්ෂානී
නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව
2012-2016 කණ්ඩායම

No comments