චන්ද්‍ර සංවාද
"ඒක අපිට ළඟයි වගේ පෙනුනට තියෙන්නෙ හුඟක් ඈතින්."
"හ්ම්..."
මම කියන දේවල් වලට උත්තර දෙනවා වෙනුවට ඔයා කලේ ඈත ආකාසේ දිහා බලන් හිටපු එක. වෙලාවකට මට ඇහුනෙ ඔයා හුස්ම ගන්න සද්දෙ විතරයි. ඒත් මම කියපු හැම වචනෙකටම වඩා ගැඹුරක් ඔයාගේ එක හුස්ම රැල්ලක තිබුණා.
මේ දේවල් ඔයාට කොහොමත් අහන්න ඕනෙ නැහැ කියල මම දන්නවා. ඒ හින්ද තමයි කවදාවත් ඔයාට දැනගන්න නොලැබෙන විදිහට මම මේව කියන්නෙ. ඔව්. ඒක කිසිම තේරුමක් නැති වැඩක් තමයි. මගෙ මුළු ජීවිතේටම තේරුමක් නැතිව තිබුණු වෙලාවක හෙට දවසක් ගැන මම බලාපොරොත්තු තියන්න පටන් ගත්තෙ ඔයා හින්ද. ඉතින් ඒ වගේ කෙනෙක් වෙනුවෙන් තවත් තේරුමක් නැති වැඩක් කරන එක ප්‍රශ්නයක් නෙමෙයි.
අපි එකම බංකුවක ඉඳගෙන එකම හඳක් දිහා ලෝක දෙකක ඉඳන් බලන් හිටියා. ඒ ලෝක දෙක යාකරගන්න විදිහ අපි දෙන්නම දැනන් හිටියේ නැහැ. ඒත් මේ හඳ එදත් ඒ ලෝක දෙකටම වෙනසක් නැතිවම තමන්ගෙ එළිය සම සමව බෙදල දුන්නා.
මම මේ දැන් තියන අන්ධකාරෙට කැමති ඒකෙන් ඔයාට මාව හරිහැටි පේන්නෙ නැති හින්ද. ඔයාට මාව පේන්නෙ නැහැ කියල දන්න හින්ද හිතේ තෙරපිලා තිබුණු ගොඩක් දේවල් ඔයාට කියන්නත් මට පුළුවන් වුණා. ඇත්තටම මට ජීවිත කාලෙ පුරාවටම ඕනෙ වෙලා තිබුණෙත් එහෙම ඉන්න. ඔයාට කවදාවත් හොයාගන්න බැරි තැනක හැංගිලා ඉන්න. එහෙම ඉඳන් ඔයා දිහා බලන් ඉන්න.
අපි අන්තිමට හම්බවුණු දවසේ මම යන්න හදද්දි ඔයා මාව නවත්වන්න හැදුවෙ මගෙ කමිසෙ කෙලවරකින් අල්ලගෙන. අපි වෙන්වෙන එක නවත්වන්න ඒක කොහොමටවත් ප්‍රමාණවත් නැහැ කියල එදා ඒ කඳුළු පිරුණු ඇස් දෙකත් දැනන් ඉන්න ඇති. ඒත් ඔයා උත්සහ කලා.
"බලාගෙන යනකොට හැම කොල්ලෙක්ම එක වගේ"
ඔයා එදා එහෙම කියද්දි මම කලේ මේ හඳ දිහා බලන් හිටපු එක. ඇත්තටම එහෙම වෙන්නත් ඇති. ඒත් වෙන කිසිම කෙල්ලෙකුට ඔයා වගේ වෙන්න නම් බැරි වුණා.
මතකද ඉස්සර අපි දෙන්නම මෙහෙම ඉඳගෙන ඈත ආකාසේ බබලන තරු කැට දෙකක් වෙන්න හීන මැවුවා. අද මම තනියම මෙතන ඉඳගෙන මගේ පුංචි තරුවට දිලිසෙන්න කළුවර අහසක් වෙන්න පෙරුම් පුරනවා. ඔයා එදා ඇහුවා ඕකද ඔයාගේ ආදරේ කියලා. ඔව්. මේක තමයි මගේ ආදරේ.
ඉතින්...මම තව තවත් කළුවර වෙන්නම්. ඔයා දිලිසෙන්න.
- ගයන්ත අකලංක -
ද්‍රව්‍ය විද්‍යා සහ ඉංජිනේරු අංශය ( '16 කණ්ඩායම )
Post a Comment