Header Ads

කුණුවීම


                වචනයේ පරිසමාප්තියෙන්ම කුණුවීම කියන්නෙ කරුමයක්. තුවාලයක් වේවා, අලයක් මුලක් වේවා කොතනත් කුණුවීම කියන්නෙ ජුගුප්සාජනක දෙයක්. ඕජස් ගලන, අපුල සුවඳ හමන දේකට කවුරුනම් කැමැත්තෙන් ඉන්නවද. හැබැයි දුක කියන්නෙ, අපිට ඉන්න වෙලා තියෙන system එකත් ඔය කියන ජුගුප්සාව වෑහෙන දෙයක් උනාට කාටවත් ඒක ගැන ගානක්වත් නැති එක. පොලිස් නිලධාරියාගේ සිට ඉහලම පුටුවට වෙනකම්ම ඔඩු දුවපු මේ ක්‍රමය කාටත් නොපෙනෙන එක. දේශපාලනේ පැත්තෙන් මේක විග්‍රහ කරන්න තරම් මම මෝරල නෑ. ඒත් අපිට අනන්‍යව තිබුණු කලාව සාහිත්‍යය දිහා බලනකොට "කුණුවීම" කියල තුන් ඈඳතු නවකතාවක් උනත් ලියන්න පුලුවන්.

කොටින්ම ගීතය, සංගීතය, නවකතාව එකී මෙකී නොකී හැම දේම ඔය කියන කුණුවීම නිසා බැට කන සිරකාරයො වගේ. මිනිහෙක්ගෙ හැකියාව මෙතරම් මිනිස්සුන්ගෙ අතින්ම බාල්දු වේවි කියල දැනුනානම්, රචකයො ගීත නොලියාවි. ලේඛකයො පොත් නොලියාවි. අමරදේව ශූරීන් 'විකසිත පෙම් පොකුරු පියුම්.....' ගීතයෙන් ඉස්මතු කරන්නෙ 'ආදරය යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උපේක්ෂාවයි' කියන සරල කතාව. ඒත් අද තමන්ට නොලැබී ගිය ආදරයක් වෙනුවෙන් ගතකල කාලය 'අපතේ ගිය දෙයක්' බවට පත් වෙලා. ආත්මාර්ථකාමී සමාජයකින්ර හව ඔයිට වඩා විස්තර කරගන්න බෑ. අන්න එතනයි කුණුවීම තියෙන්නෙ. ඉතාම බොලඳ ආදර කතන්දර කියවන බොහෝ අයට ආදරේ කියන්නෙ එක්කෙනෙකුට, එහෙමත් නැත්තන් තමන්ගෙ දිශාවට යොමුවුණු සම්බන්ධතාවක් විතරයි. මුලු සමාජයටම ආදරය බෙදල දෙන්න උන්ට තේරෙන්නෙ නෑ. එතනයි කුණුවීම. මොහාන් රාජ් මඩවලගෙ රැජිණ නොකියවපු බොහෝ උදවිය නිකන්ම නිකන් වීර කතා ගොඩක් වුණු බොහෝ රජ-ටෙලි කතා බලා ඇති. කවිකඳුර නොකියවපු බොහෝ අය සුද්දා රට අල්ලපු විදිය tv එකෙන් දැකල ඇති. පෙන්වන දේට වඩා නොපෙන්වන දේ ගැඹුරක් තියේ කියල දකින්න තරම් සමාජය මෝරලා නෑ. තිඹිරි ගෙයිම මැරුණු ළමයි වගේ වර්තමානයේ නිදහස් අදහස්. ඒකයි මේ යුධ උන්මාදය, ජාතිවාදය, ආගම්වාදය. අන්න එතනයි කුණුවීම.

වෙලාවකට තනියම කල්පනා කරද්දි හිතෙන දෙයක් තමයි, මෙච්චර මේ ක්‍රමයට අපිට අනුගත වෙලා නොමිදී ඉන්න බැරිවෙලා තියෙන්න පරම්පරා ගැටුම කියන සාධකය නිසාදෝ කියල. සරච්චන්ද්‍රයන්ව අදහන්නට තරම් හේතුවෙන විශේෂ කාරණයක්, ඔහු සිංහබාහු නාට්‍යයෙන් ගෙනහැර පානවා. ගල්ලෙන බිඳ සිංහබාහු අම්මා සහ නංගී සමග පිටවී යන සිද්ධිය, පරම්පරා ඝට්ටනයට කදිම උදාහරණයක් වෙනවා සේම, මට හිතෙන විදියට ඒ ඝට්ටනයෙන් සිදුවූ කුණුවීම ගෙනහැර දක්වන්නට තමන්ගේ පියාගේම ඝාතනය සහ සහෝදරිය හා සහවාසයේ යෙදීම යන කරුණු දෙක උලුප්පා දැක්වීම පරම්පරා ගැටුමට දුන් අති විශිෂ්ට පිලිතුරක් විදියට මට පෙනෙනවා. උඩ පරම්පරාව යාවත්කාලීන නොවූ හණමිටි අදහස් සහිත කොටසක් යැයි සිතීමට වඩා අප කල යුත්තේ ඔවුන්ගේ අත්දැකීම් මත අපි යාවත්කාලීන වීම නොවේද විය යුත්තේ. අයෙක් වරක් විශ්වවිද්‍යාලය සිසුවා කුළු මීමෙකුට සමකලේ ඇඟේ සහ හිතේ හයිය මිස බුද්ධියේ හයිය ගැන තැකීමට නූතන පරම්පරාව යොමු නොවීම නිසාදෝ කියන සැකය, මෙතැනදී සාදාරණ එකක් බව මට සිතෙනවා.

ජංගම දුරකථන, සමාජජාලා, pubg, cod මෙන්ම තරඟකාරී අධ්‍යාපන රටාව උක්ත කුණුවීමට වින්දිතයින් ලෙස මට පෙනේ. කොටින්ම කිවතොත් හරිහමන් පොතක් බලා ජීවිතයට දෙයක් එක්කර ගන්නේ වර්තමානයේ කී දෙනෙක්ද. එලෙස කල නොහැකි තරම් ඔවුන් සිරවී කොටුවී ගතකරන ජීවිත ගැන කණගාටු නොවිය හැකිද? නාට්‍යයක් බලන්නට ගොස් 'අපරාදෙ සල්ලි' කියාගෙන එන්නටද හේතුවක් ඇත. ඒ මනසේ සංවේදී බවේ ඇති අඩුලුහුඬුකම් හෝ ඌනතාවය හැර වෙන කුමක්ද? රටට මොක උනත් අපිට මොකද කියල ගොඩක් අය හිතන් හිටියත්, නොදන්නවට වඩා නොදැනෙන දේ තමයි තමන්ටද කෙලවී ඇතිබව. රට අගාධයට ගෙනයනවාය කියා දේශපාලනේට බනින ගොඩක් අය, අනිත් පැත්තෙන් රට ආගාධයට ගෙනියන බොහෝ ඒවාට හුරේ දැමීම, හෝයියා කීම නම් අමුතුම joke එකක්. රට හෝ ක්‍රමය වෙනස් වන්නට කලින් වෙනස් වියයුත්තේ 'මිනිස්සු' මිස කිසිවක් නෙවෙයි.

ලංකාව අමුතු ඇටය යැයි කියන්නේත්, ඒ බවට හරවන්නේත් අපිම මිස වෙන අය නොවේ. ඒ අමුතු ඇටය මුතු ඇටයක් කරන්නටද හැක්කේ අපට පමණි. මිනිසුන් ජාතීන් ලෙස නොව මිනිසුන් ලෙසම දකින්නට උගැන්විය හැක්කේ අපට පමණි. කුණුවීමට විසඳුම ඇත්තේද අප තුල පමණි. එසේනම් අප කුමක් කල යුතුද?.....

සරත්
ඉංජිනේරු පීඨය-17 කණ්ඩායම

No comments